Tuesday, February 3, 2015

පිරිමින්ගේ ලප වලින් කියවෙන අනාවැකි

by Api Nodanna Live  |  in Life at  9:22 PM

පැරැණි ජ්‍යෝතිෂ ග්‍රන්ථ අනුව ලප, කැලැල්, ඉන්නන්, උපන් ලප, දත් ආදී ශරීරයේ ඒ ඒ ස්ථාන අනුව විවිධ අනාවැකි කිව හැකි බව කියවේ.
කාන්තාවන්ගේ ශරීර ලක්ෂණ ගැන බොහෝ විට කතා බහ කෙරුණත් පිරිමි දේහ ලක්ෂණ ගැන කතා වනවා අඩුයි. මේ ලිපිය පිරිමින්ගේ චරිතය හා බැඳුනු ලප පිහිටීම් ගැනයි.
ඉන්නන් මෙන්ම ලපද කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයෙන් පිහිටයි. කළු, රක්ත, සුදු වර්ණයන්ගෙන් ලප හෝ ඉන්නන් පිහිටන බවද ඔබ දැක ඇතිවාට සැකයක් නැත.

ඇස
දකුණු ඇස බැමි ප්‍රදේශයෙහි කුමන පාටකින් හෝ ලපයක්, ඉන්නෙක් පිහිටි පිරිමි අය බවබෝග, ඉඩකඩම්, ගේ‍ දොර ලබා වාසනාවන්ත සහකාරියක් සමඟ දරුවන්ද ලබා භාග්‍යවත් ජීවිතයක් ගෙවීමට හිමිකාරයෙක් වෙයි.
ඉහත කී ලප හෝ ඉන්නන් තද කළු පාටට හුරුවූයේ නම් ප්‍රතිඵල සුළු වශයෙන් වෙනස් වීමට ඉඩ ඇත. එවැනි උපන් ලපයක් හෝ ඉන්නෙක් වම් ඇහි බැමෙහි පිහිටීමෙන්, මධ්‍යම වයස් පැමිණි කල්හි ජීවිතයේ අවාසනාවන්ත කාලයකට යොමු වීමට හේතුවේ.
රෝග පීඩා, කරන කියන කටයුතු කඩාකප්පල් වීම, පාඩු සිදුවීම, විවාහ ජීවිතයේ අවුල් වියවුල් ආදියද බලපාන්නට හේතු වේ.
යම් පුරුෂයකුගේ දකුණු පැත්තේ බොරු ඇස නමින් හඳුන්වන ප්‍රදේශයෙහි ලපයක් හෝ ඉන්නෙක් පිහිටියේද ඔහු ආත්ම ගෞරවය පිරිහෙන අන්දමේ කටයුතුවල යෙදෙයි.
ස්වකීය අදහස් හෝ වචන, කරගෙන යන වැඩකටයුතු ඉතා ඉක්මනින් වෙනස්කර අලුත් දේවලට යොමු වේ. තරුණ කාලයෙන් පසුව රෝගාතුර ජීවිතයක් ගෙවන්නට සිදුවේ.
අලස, කම්මැළි ගතියෙන් යුක්ත අයෙක් වෙයි. එය වම් පැත්තේ පිහිටියේ නම් ඉහත කී තත්ත්වයන් වඩාත්ම උද්ගත වේ.
.
කම්මුල
යුගදිවියේ සැපත, වාසනාව ලබමින් කාන්තා පක්ෂයේ විශේෂ භක්තියට ආදරයට පාත්‍ර වූ සැපවත් ජීවිතයක් ගෙවන වාසනාවන්තයන්ගේ දකුණු කම්මුල ප්‍රදේශයෙහි උපන් ලපයක් හෝ ඉන්නෙක් පිහිටයි.
යම් හෙයකින් එවැනි ලපයක් හෝ ඉන්නන් දෙකක් හෝ වැඩි ගණනක් පිහිටි පුරුෂයා විවාහ දෙකක් කරගැනීමට හෝ විවාහ සැප ලබමින් අනියම් සම්බන්ධතා පවත්වාගෙන යන අයෙක් වෙයි.
වම් කම්මුල් ප්‍රදේශයේ ඉන්නෙක් හෝ ලපයක් පිහිටි අය යුගදිවියේ ප්‍රශ්න බාධක හෝ වෙනස්වීම්වලට තුඩුදෙන අවස්ථාවලට මුහුණ පායි. එකකට වැඩි ගණනක් වීමෙන් එම අශුභ ඵල අධිකවේ.
වම් සහ දකුණු කම්මුල් දෙකේම ලප හෝ ඉන්නන් පිහිටි පුරුෂයා යුගදිවිය ආරම්භයේදී ප්‍රශ්න බාධක, වියවුල් ආදියට පත්වී ස්වකීය ආදර සම්බන්ධතා වෙනස්වීම් ආදියට මුහුණපෑවත්, ස්ථිර ලෙස විවාහ වීමෙන් පසුව ස්වකීය පවුලේ දියුණුව වාසනාව ලබමින් ජීවිතයේ අවසානය දක්වාම භාග්‍යවත් ජීවිතයක් ගෙවන්නට හිමිකරුවෙක් වෙයි.
දකුණු ඇසේ කෙළවරට වන්නට ලපයක් හෝ ඉන්නෙක් ඇති පුරුෂයා කුමන දෙයක් වුවද උත්සාහය, ධෛර්යය තුළින් සඵල කරගන්නා, ධන ධාන්‍යයෙන් හෝ වෙනත් කිසිම අයුරකින් අඩුපාඩුවක් නැති සාර්ථක යුගදිවියක් සහිතව කාලය ගෙවන අයෙකි.
එය වම් පැත්තේ නම් ආදරය නිසා වේදනා විඳින කාන්තා පක්ෂයේ අපකීර්තියට හෝ සමච්චලයට පත්වන, කාන්තාවන්ගේ බහට රැවටී නිෂ්ප්‍රයෝජන වියදම් නිසා ස්වකීය ධනය විනාශ කරගන්නා, විවාහය ආරම්භයේදී බාධක, ප්‍රශ්න, විරුද්ධතා මධ්‍යයේ සිදුවුවත්, පසුව වාසනාවන්ත යුගදිවියකට හිමිකාරයෙක් වෙයි.

නාසය
නාසය උඩ දකුණු පැත්තේ පිහිටියේ නම් සිතේ ප්‍රීතිය අඩු, නිතර දුක්ගෙන දෙන සිදුවීම්වලට අවස්ථා උදාවන අතර බොහෝ වෙහෙස දැරිය යුතු බව පෙනේ.
යම් හෙයකින් කළුපාට ලපයක් හෝ ඉන්නෙක් වී නම් ඉහත සඳහන් තත්ත්වයන් වඩාත් ප්‍රබල ලෙස බලපාන අතර සුදුපාට හෝ රක්ත වර්ණ වීමෙන් තරමක් යහපත් ප්‍රතිඵල උදාවීමට හේතු වෙයි.
නාසයේ වම් පැත්තේ පිහිටි ලප හෝ ඉන්නන් නිසා ස්වකීය ශරීරයේ වර්ධනයට අවශ්‍ය කෑම් බීම් පිළිබඳ විශේෂත්වයක් දක්වා කටයුතු කිරීම ප්‍රධාන ගුණාංගයක් ලෙස පෙනෙන අතර විනෝදකාමී දේවලටත් ආශාවක් ළැදියාවක් දක්වන අයෙක් වෙයි.

තොල
තොල උඩ උපන් ලපයක් හෝ ඉන්නෙක් පිහිටි පුරුෂයා කුඩා අවධියේ සිටම හොඳ නරක හොඳින් තේරුම්ගෙන යහපත් කටයුතුවල නියැළෙමින් අන්‍යයන්ගේ ආදරය, භක්තිය, ප්‍රීතිමත්ජීවිත ගෙවන අය වෙති.
එය දකුණු පැත්තට වන්නට පිහිටියේ නම් ජීවිතයේ වාසනාවන්ත බව පෙනුණත් යුග දිවිය තරමක් ප්‍රමාදවීමට හේතු විය හැකි වුවද වාසනාවන්ත සහකාරියගේ අතිනත් ගැනීමට අවස්ථාව උදාවෙයි.
යටිතොල් දකුණු පැත්තේ ලප ඉන්නන් පිහිටීම අසුබයි. බොහෝ දුර බැහැර ප්‍රදේශයක කාන්තාවක් සමඟ විවාහ වීමට ඉඩ තිබේ.
විදේශ සංචාරයන්හි යෙදීමට අවස්ථාව උදාවීම නිසා විදේශීය රටක යුවතියක් ස්වකීය සහකාරිය වශයෙන් තෝරාගන්නා අවස්ථා හෝ එසේ නොවුවහොත් ස්ථිර පදිංචියක් නොලබන තැනින් තැන ඇවිදීම්වලට හේතුවන කාන්තාවක සමඟ විවාහ වෙන බවත්, අධික කාමාශාවන් නිසා සමාජ රෝග වැනි දේවලට හේතුවිය හැකිය.

කන
විදේශ සංචාරයන්හි යෙදීමට වාසනාව ඇති ස්වකීය ඥාතීන් හෝ හිතවතුන්ගෙන් වෙන්වී ජීවත්වීමට නිතරම සිතන සිතේ ප්‍රීතිමත් බව හෝ සතුටෙන් තොර, ජීවිතයත් ගෙවන උපන් භූමියේ හෝ රටේ සිටියොත්, දුක් කරදර සහිත ජීවිතයක් ගෙවන අයගේ දකුණු පැත්තේ කනෙහි උපන් ලපයක් හෝ ඉන්නෙක් පිහිටන බවද, ජ්‍යෝතිෂ ග්‍රන්ථයන්හි සඳහන් වී ඇත.
එවැන්නක් වම් කනේ පිහිටි අය කලකෝලාහල හෝ හදිසි අනතුරුවලට මුහුණපාන ඒ හේතුවෙන්ම ස්වකීය මරණය පවා සිදුවන්නට ඉඩ ඇති ජීවිතයේ නොයෙකුත් ප්‍රශ්න, ගැටලුවලට නිතරම මුහුණපාන අය වෙති.
දරු සම්පතින් මෙන්ම ධන ධාන්‍ය, ගේ දොර ඉඩකඩම් ආදියෙන් අඩුවක් නැති තමාගේ කටයුතුවලදී නොඅඩුව සහයෝගය දෙන, උත්සාහවන්ත, ධෛර්යවත් භාර්යාවක් ලබා ප්‍රීතිමත් ජීවිතයක් ගෙවන පුරුෂයන්ගේ මුඛයේ දකුණට වන්නට ලපයක් හෝ ඉන්නන් පිහිටා ඇති බව පෙනේ.
එය වම් පැත්තේ වී නම් දුක හෝ සැප එක ලෙස විඳ දරා ගැනීමේ සහජ දක්ෂතා ඇති නිතර විනෝදකාමී ජීවිතයක් ගෙවන කුමන ක්‍රියාවකදී වුවද දුරදිග සිතා බලා කටයුතු කරන, කලා අංශයේ දේවලට විශේෂ දක්ෂතා ඇති අය බව පෙනේ.

නළල
ජීවිතයේ ඉතාමත් අවාසනාවන්ත අවස්ථාවන්ට මුහුණ දෙන කලකෝලාහල වැනි භයානක දෙයකින් ජීවිතක්ෂයට පත්වන පුරුෂයන්ගේ නළලෙහි කළුපාටට හුරු ඉන්නන් පිහිටන බවත්, එය රක්ත වර්ණ වීමෙන් භයානක රෝග පීඩාවන්ට ගොදුරු වී කලක් දුක්විඳ මරණයට පත්වීම හෝ එම තත්ත්වය තමාගේ ළඟම ඥාතියකුට බලපාන බවද කියවේ.
මුහුණේ බොරු ඇස ලෙසින් හඳුන්වා ඇති ස්ථානයට පහතින් ලප හෝ ඉන්නන් පිහිටි පුරුෂයා තමාගේ බලවත් නොපසුබස්නා උත්සාහය, ධෛර්යය නිසා නොයෙකුත් ශාස්ත්‍ර ඉගෙනීමේ දක්ෂතා මෙන්ම එයින් ඵල ප්‍රයෝජන ලබන ධන සම්පතින් හෙබි සමාජයේ ගෞරවයට, කීර්තියට පත්ව දීර්ඝායුෂද ලැබීමේ වාසනාවන්තයෙක් බවද පෙනේ.

0 comments:

Proudly Powered by Blogger.