Monday, December 15, 2014

අලුත් අවුරුද්දේ අලුත් වෙන්න අලුතින් හිතන්න

by Api Nodanna Live  |  in Sri Lanka at  8:15 PM

දෙසැම්බර් මාසය කියන්නේ පර්ස් එක පිරෙන සැනින් හිස් වෙන මාසයක්. නත්තල් විතරක් නොවෙයි අලුත් අවුරුද්දත් අත ළඟ. අවුරුද්දක් ගෙවිලා ගිහින් තව අවුරුද්දක් ලබද්දී අලුත් වෙන්න ඕනි කියලා හැමෝම හිතනවා.
අලුත් වෙන්න අලුත් බඩු මුට්ටු ගෙදරට ගන්න අලුත් ඇඳුම් ගන්න මොන තරම් වැඩ රාජකාරි මැද්දේ වුනත් වෙලාවක් හොයා ගන්න කවුරුත් උනන්දුයි.
අලුත් අවුරුද්දේ අලුත් වෙන්න ඔබට අලුත් අදහසක් දෙන්න අපි හිතුවා.
මුලින්ම කතා කරමු ඔයාට ලැබෙන බෝනස් එක ගැන. බෝනස් ලැබෙන පළියට වියදම් කරන්න ඕනෙමද? මාසික වැටුපට අමතරව ලැබෙන මේ සුළු දීමනාව ප්‍රයෝජනවත් දෙයකට යෙදෙව්වොත් කොහොමද?
බෝනස් කියලා මහ ගාණක් ලැබෙන්නෙත් නෑනේ. ඒත් කරන්න තියෙන දේවල්. හිතාගන්නවත් බෑ නේද.
එත් හැමදේම කෙරෙන්නත් ඕනා. මේ දවස් වල කාටත් තිබෙන ලොකුම ප්‍රශ්නේ තමා ලැබෙන පොඩි මුදල කළමනා කරණය කරගෙන හැම අවශ්‍යතාවක්ම ඉටු කරගන්නේ කොහොමද කියලා.
අපි ප්‍රශ්න කියලා හිතන හුඟක් දේවල්වලට උත්තර අපි ළඟම තිබෙනවා. නමුත් අපි ඒවා හඳුනා ගන්නෙ නැහැ. හැමදේම කට ළඟටම එනකල් ඉන්නෙ නැතිව අවුරුද්ද පුරාම නිසි සැලසුමකට හා ක්‍රමවත් කළමනාකරණයකට වැඩ කරනවා නම් හැම ප්‍රශ්නයක්ම නැතත් ටිකක් හරි ප්‍රශ්න විසඳගන්න පුළුවන්.
බෝනස් එකෙන්ම හැමදේම කරන්න බලන් ඉන්න එපා. තනිකඩව ජීවත්වෙන කෙනෙක්ට නම් ගැටලුවක් නැහැ. ඒත් එයත් මේ නිසි කළමනාකරණය ඉගෙනගත්තොත් පවුල් වුණු දවසට වැදගත් වෙයි.
ඉතිරි කරන්න
ඉතිරි කරන්න කිව්වට කියන තරම් ලේසි නැහැ තමයි. නමුත් උත්සාහ කළොත් බැරිවෙන්නෙත් නැහැ. ලැබෙන්නෙ කීයද ඊට වඩා වියදම්නෙ. ඒත් කමක් නෑ කියමුකො. ණයත් වෙනවනේ. බැරිම තැන පොලියටත් ගන්නවනේ. කොතැනද වැරැද්ද?
තනිකඩ කාලේ ආර්ථික සැලසුමකට ජීවත් නොවුණු අයට තමයි මේ ප්‍රශ්නෙ තියෙන්නෙ. උපතින්ම පරම්පරාවෙන්ම දේපළ සල්ලි උරුම අයට නෙවෙයි, මේ කතා කරන්නෙ මාසේ වැටුපෙන් හෝ එදිනෙදා හරිහම්බ කරගෙන ජීවත්වන සාමාන්‍ය උදවියට.
මේ අවුරුද්දත් ගෙවිලා ගියානෙ. උදාවෙන අලුත් අවුරුද්දෙ ඉඳලවත් හිමීට කීයක් හරි ඉතිරි කරගන්න ක්‍රමයක් ගැන හිතලා බැලුවොත් නරකද?
බස් එකේ යන එන විට ලැබෙන මාරු කාසි ටික කැටයකට දාන්න පුළුවන් නම්. හැබැයි ඉතින් ඕන ඕන වෙලාවට කැටය කඩ කඩ සල්ලි ගන්න නම් එපා.
ඉතිරි කරන්න බැරිවෙන්නෙ එතකොටයි. දරුවන්ටත් මග වියදමට දෙන සල්ලිවලින් රුපියල් පහක් හරි ඉතිරි කරගන්න උනන්දු කරන්න. එහෙම ඉතිරි කර ගැනීමේ ප්‍රයෝජනයත් කියලා දෙන්න. වඩාත් හොඳයි දරුවට අවසාන ඉලක්කයක් දෙනවානම්.
ඉතිරි කිරීමට ඉලක්කයක්
හැම අවුරුද්දෙම සාහිත්‍ය මාසයේ පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගන්න කියලා ඉලක්කයක් දුන්නොත් දරුවො ඉතිරි කරන්න කම්මැළි වෙන එකක් නැහැ. අවුරුද්දට කැට ගහන්න කියලා සල්ලි ඉතිරි කරගන්න පුළුවන්නම් හොඳ ඉලක්කයක් වෙනුවෙන් ඉතිරි කරන්න බැරි වෙන්නෙ නැහැනේ.
සැප සහ දුක
දරුවන්ට දුක් දෙන්න අම්මලා කැමැති නෑ තමයි. ඒ නිසයි නොකා නොබී හරි දරුවන් වෙනුවෙන්ම හැමදේම කරලා අම්මලා හූල්ලන්නේ.
ඒ දරුවන්ට තියෙන ආදරේට. හැබැයි එතැනදී අම්මලා දරුවන්ට කරන වැරැද්දක් තියෙනවා. දුක් දෙන්න කියලා නැති සැපයක් මවලා පෙන්නනවට වැඩිය අගහිඟකම් කියලා ජාතියකුත් තිබෙන බව දරුවන්ට දැනෙන්න ඉඩහරින්න ඕනේ. එතකොට තමයි ළමයි ආර්ථික කළමනාකරණයට මුදල් ඉතිරියට අරපිරිමැස්මට පුරුදු වෙන්නේ.
ඒ නිසා නැතිදාට නැතිවිදිහට කන්න බොන්න, අඳින්න, පලඳින්න දරුවන්ට හුරු කිරීම දරුවන්ට දුක් දීමක් නෙවේ.
අලුත් වෙන ක්‍රමය
හැම අලුත් අවුරුද්දකටම අලුත් ඇඳුමක් අවශ්‍යයි කියලා ලියලා තිබෙන්නෙ අපේ මනසෙ. නැති බැරි කම හඳුනන දරුවො කවදාවත් අලුත් ඇඳුම් ඉල්ලලා හඬන්නෙ නැහැ.
මේ අවුරුද්දෙ බැරි වුණාට ලබන අවුරුද්දෙ අලුත් ඇඳුමක් ගන්න සල්ලි ටිකක් ඉතිරි කරගන්න දරුවන් ඉලක්කයක් හදාගනී. එතකොට තමයි දරුවටත් හිතෙන්නෙ කීයක් හරි ඉතිරි කරගන්න.
අපේ පුතාට මාළු නැතුව කන්න බෑනේ කියලා උජාරුවට කියන අම්මලා පුතාට මාළු කෑල්ල දීලා මාළු හොදිත් එක්ක බත් කනවා.
එහෙම කරන්නෙ දරුවට ආදරය නිසයි. ඉතින් පුතා හිතන්නෙ අපිට හැමදාම මාළු කන්න සල්ලි තියෙනවා කියලා. නමුත් ඇත්ත වෙන දෙයක්.
එහෙම නැතිව තියෙන දෙයක් එක්ක බත් කන්න දරුවව පුරුදු කරන්න පුළුවන්නම්, ඒ දරුවා පොළොවේ පය ගහලා ජීවත්වෙන්න ඉගෙන ගන්නවා.
අනිත් අය කරන දේ
අපේ හුඟදෙනෙක්ට වරදින තැනක් තමයි අනිත් අය කරන කරන දේම කරන්න යෑම. එහා ගෙදර අය ගෙදරට තීන්ත ගානවා කියලා අපිත් තීන්ත ගාන්න ඕන කියලා හිතනවා. ඉතින් ණය වෙලා හරි තීන්ත ගානවා.
අලුත් අවුරුද්ද කියන්නෙ හැමදේම අලුතින් කරන එකය කියලා හිතන අයට මේ ප්‍රශ්නෙ වැඩියි. හැමදේම අලුත් කරන්න අවශ්‍ය නැහැ. පිරිසුදු කරලා පිළිවෙළට තියාගන්නවා නම් හැමදාම අවුරුදු.
එහා ගෙදර අයත් අලුතින් තිර රෙදි දාන නිසා අපිත් දාන්න ඕනද? යහමින් සල්ලි තිබෙනවා නම් කමක් නැහැ. ණය වෙලා ප්‍රශ්න ඇති කරගන්නවාට වැඩිය හොඳ නැද්ද පරණ තිරරෙදි ටිකම හෝදලා පිරිසුදුවට දාන එක.
ෂොපින් කරන්න යනවිට
කොහොමහරි සල්ලි ටිකක් හදාගෙන ෂොපින් කරන්න යනවයි කියමුකො. එතැනත් අරපිරිමැස්මක් තිබුණොත් නේද හොඳ? දකින දකින හැමදේම ගන්න එපා. අවශ්‍ය දේ විතරක් ගන්න.
අනික සේල් කියලා බාල බඩුවලට හසුවෙන්නත් එපා. සේල්නේ ඉතින් ලැබුණු වෙලාවට ටිකක් වැඩිපුර ගත්ත නම් වාසියිනේ කියලා හිතාගෙන ගෙදර ගෙනත් භාවිතයට ගන්න බැරිව ඉවත් කරන ඇඳුම් මොනතරම් නම් තිබෙනවාද?
සේල් කඩවල ඇඳුම් ආයේ මාරු කරන්නත් බෑනේ. ගත්තොත් ගත්තමයි. ආපහු මාරු කරනවත් බොරු. ඉතින් ගෙදර අරන් ගියාට පස්සෙ එක්කො ලොකුයි එක්කො හිරයි. දැන් මොකද කරන්නෙ. අපරාදෙ සල්ලි.
පර්ස් එකයි ෆෝන් එකයි
මේ කාලේ ගැටකපන්නන්ගෙන් පරිස්සම් වෙන්නත් ඕනේ. පර්ස් එක වගේම ෆෝන් එකත් පරිස්සම් කරගන්න ෂොපින් කරන්න ගියාම ටිකක් සිහියත් අඩුයිනේ. පර්ස් එකයි ෆෝන් එකයි දෙකම බෑග් එකේ ඇතුළෙම සාක්කුවක තියාගන්න.
සල්ලි පරිස්සම් කරගන්න
සල්ලි වුණත් පර්ස් එකට දානකොට ඔක්කොම එක තැනක නොදා තැන් කිහිපයක දමන්න. නැතිනම් එකපාර අතේ තිබෙන සල්ලි ඔක්කොම එළියට අරන් රුපියල් 500 ක බිලක් ගෙවලා ආපහු හැරිලා බලද්දි රුපියල් 5000ක් විතර හොරු අරන් තියෙයි.
ඒ නිසා රුපියල් 500ක් 1000ක් ආදී වශයෙන් වෙන වෙනම තැන්වල පරිස්සම් ඇතිව දාලා තියාගන්න.
සෙනඟ ගොඩේ නිසා ලොකු ලොකු සාප්පුවල වුණත් බාල ඇඳුම් තියෙන්න පුළුවන්. හරියට බලලා ගන්න බැරිවෙන නිසා හොඳ ඇඳුම් අතරෙ ඉරිච්ච ලෙහිච්ච ඇඳුම් තියෙනවා. ඒවා ගැනත් අවධානයෙන් ඉන්න.
ෂොපින් කරනවා වගේම මාර්කට් යන එකත් වැදගත්. දැන් එළවළු වුණත් මිලෙන් වැඩියි. මොනව කරන්නද කන්නවත් ඕනෙනේ.
අවුරුදු පොළ මේ දවස්වල නගරවල දකින්න ලැබෙනවා. එළවළු විතරක් නෙවෙයි හැමදේම මේ තැන්වල තියෙනවනේ.
ලාභෙට ගන්න ප්ලාස්ටික්
ඔන්න ඉතින් ලාභෙට ප්ලාස්ටික් බඩු එහෙමත් ගන්න පුළුවන්. අපේ ගෘහණියො හුඟ දෙනෙක් විනෝදාංශයට වගේනේ ප්ලාස්ටික් බඩු ගෙදර අරන් යන්නේ.
අවශ්‍යම දෙයක් මිසක් නිකරුණේ ප්ලාස්ටික් බඩු ගෙදර ගොඩගැසීමේ අවසාන ප්‍රතිඵලය ගෙදර ඉඩ ඇහිරීමයි. ගේ නිතර හැඩිවීමයි. පරිසර දූෂණයයි.
පාට පාටට එක එක හැඩයට තිබුණාට ප්ලාස්ටික්වලට රැවටෙන්න එපා. නිකරුණේ සල්ලි නාස්ති වෙනවා විතරයි.
මේ අවුරුද්දෙ අවසාන දින ගණන වුණත් මෙතැනින් එහාට තවත් දින 365ක් ගතකරන්න අපිට මුදල් අවශ්‍යයි. ගෙවුණු වසර වගේ මේ අලුත් අවුරුද්දෙත් හූල්ල හූල්ල ජීවත් වෙන්නෙ නැතිව ආදායම අනුව වියදම සකසා ගත හැකි නිසි සැලසුමක් සහ කළමනාකරණයක් ඇතිව අරපරිස්සමින් මුදල් භාවිත කළා නම් හැමදාම කිරි ඉතිරෙයි.

Related Posts

0 comments:

Proudly Powered by Blogger.