ට්‍රෙන්ඩ් එකට Slim වෙන්න ගිහින් හදා ගන්න ලෙඩවල්
දිගින් දිගටම ආහාර පාලනය කරන විට පසුකලෙක එය Anorexia Nervosa කියන මානසික රෝගය බවට පත්වනවා. රූමත් වීමේ අරමුණෙන් ආහාර පාලනය කරන වයස අවුරුදු 14 – 17 අතර යුවතියන් තමා මේ තත්ත්වයට වැඩිපුර ගොදුරු වෙන්නේ. මෙහි රෝග ලක්ෂණය වන්නේ තමන් කොපමණ කෙට්ටු වුවත් ‘මහත වැඩී’ යනුවෙන් හැමවිටම සිතෙන්නට වීමයි. එවැනි යුවතියන් කවුරු කීවත් කෑම කන්නේ අඩුවෙන්. කෑම ප්‍රමාණය හොඳටම අඩු කරන විට ඔවුන්ගේ දෛනික කටයුතු කර ගන්නට තරම්වත් ඇඟට පණ නෑ. දවසම නිදිමතයි. පාඩම් කරන්නට බෑ. මතක හිටින්නේ නෑ. ඔසප් චක්‍රයේ අක්‍රමිකතා ඇතිවෙනවා. ඇඟ සුදුමැලි වෙනවා. ශරීර උෂ්ණත්වය පහළ බහිනවා. මේ රෝග ලක්ෂණ උග්‍රවීමෙන් කලාතුරකින් කෙනෙක් මිය යන්නට පවා පුළුවන්.
ආහාර ගත් ප්‍රමාණය වැඩි යැයි සිතා ස්වෝත්සාහයෙන්ම වෙර දරා වමනය කරන යුවතියන් ද සිටිනවා. එය ද රෝගී තත්ත්වයක්. එය ‘බුලීමියාව’ යනුවෙන් හඳුන්වනවා. එවැනි මානසික රෝගවලට ගොදුරුවන දැරියන් සුවපත් කිරීමට ඉතා අපහසුයි.
ලෝකයේ ගොඩක් මෝස්‌තර නිරූපිකාවන් සහ නිළියන් මේ තත්ත්වයට ගොදුරු වනවා පමණක් නොවෙයි මිය ගිය අවස්ථා පවා වාර්තා වනවා. පුරුෂ පක්ෂයට වඩා ස්ත්‍රීන් අතර මෙය බහුලව දක්නට ලැබෙනවා. ස්ත්‍රීන්ට මෙය වැළදීමේ ප්‍රවනතාවය පුරුෂයන්ට මෙන් දහ ගුණයකින් වැඩියි.
මෙහි රෝග ලක්ෂණ වන්නේ,
- අධික ලෙස ආහාර පාලනය මගින් සිරුර සිහින්ව පවත්වා ගැනීම.
- ශරීර ස්කන්ධය නියමිත බරින් 85% කට වඩා අඩු වීම.
- තම ශරීර බර හා හැඩය පිළිබඳ ඇති විකෘති වූ මතයන් දැරීම.
- තරබාරු වීම පිළිබඳ ඇති අධික බිය.
- ඔසප් චක්‍රය නතර වීම හෝ අක්‍රමවත් වීම.
- කායික රෝග ලක්ෂණ – අඩු රුධිර පීඩනය, අධික වෙහෙස, ශරීර උෂ්ණත්වය අස්වාභාවික ලෙස අඩුවීම, අතපය ඉදිමීම, ලිංගික අවයව වැඩීම පමාවීම.
- ආහාර පිළිබඳ නිතරම සිත යොමුව තිබීම. මොවුන් අනෙක් පුද්ගලයන් සඳහා ආහාර පිලියෙල කිරීම මගින් තෘප්තියක් ලබනවා.
- සමාජ ආශ්‍රය අඩුවීම.
- ශරීර ස්කන්ධය තවත් අඩුකර ගැනීමට ආහාර පාලනයට අමතරව ව්‍යායාම කිරීම, ඖෂධ ගැනීම (විරේකය ඇති කරවන ඖෂධ, මුත්‍රා වැඩි කරවන ඖෂධ ආදී) වැනි ක්‍රම භාවිතය.
ඇනොරෙක්සියා නර්වෝසා නිසා ඇතිවන සංකූලතා
ඔසප් චක්‍රය අක්‍රමවත් වීම.
ආහාරයේ ඇති අක්‍රමවත් බව හේතුවෙන් සිරුරේ හෝමෝන ප්‍රමාණයන් හා ක්‍රියාකාරීත්වය වෙනස් වීම නිසා ඔසප් චක්‍රයේ අක්‍රමිකතා ඇතිවිය හැකියි. එය සම්පූර්ණයෙන් ඇණ හිටීමට මෙන්ම තවමත් ඔසප් නොවූ දරුවෙකුගේ නම් ඔසප් වීම ආරම්භ නොවීම සිදුවෙන්නටත් ඉඩ තිබෙනවා.
සිරුරේ රසායනික අසමතුලිතතාවය
නිතර නිතර සිදුවන වමනය යෑම හා ඖෂධ ගැනීම නිසා රුධිරයේ ඇති රසායනික සංයෝග වල අසමතුලිතතාවයක් ඇතිවිය හැක.
රුධිරයේ පොටෑසියම් ප්‍රමාණය අඩුවීම නිසා නිතර මහන්සිය, කායික දුර්වලතාවය, වකුගඩු හානි, වලිප්පුව, හෘද රිද්මයේ වෙනස්කම් ඇතිවෙනවා.
අස්ථි වල ශක්තිය අඩු වීම (ඔස්ටියෝපොරෝසිස්)
කැල්සියම් හා විටමින් ඩී අඩුවීම නිසා අස්ථි වල ශක්තිය අඩු වන අතර පහසුවෙන් අස්ථි බිඳීම් ඇති වනවා.
ආහාර මාර්ගයේ ආබාධ
බඩ විරේක කරවන ඖෂධ භාවිතය හේතුවෙන් ආහාර මාර්ගයට හානි සිදු විය හැකියි. මෙමගින් අවසානයේ කල් පවතින උදරයේ වේදනාව හෝ මලබද්ධය වැනි ගැටළු ඇතිවිය හැකියි.
ශරීරයේ ඉදිමීම
ශරීරයේ දියර අසමතුලිතතාවය හේතුවෙන් අත්, පා, මුහුණ ආදිය ඉදිමීම සිදුවිය හැකියි.
දත් වල ගැටළු
නිතර වමනය කිරීම හේතුවෙන් ආමාශයේ අම්ල දත්වල එනැමලය හා ගැටෙනවා. එම අම්ල එනැමලයට හානි කරන බැවින් දත් දිරාපත් විය හැකියි.
නීරක්තිය (රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වීම)
ආහාර මඟින් ලැබෙන යකඩ ප්‍රමාණය අඩුවීම හේතුවෙන් නීරක්තිය ඇති වනවා. ශරීරය දුර්වල වීම, අධික වෙහෙස, ක්ලාන්ත ගතිය ආදී රෝග ලක්ෂණ ඒ නිසා ඇති වනවා.
විෂාදය
මෙය මානසික අසමතුලිතතාවය නිසා ඇති වන ගැටළුවක්. ඇත්තටම මෙය මානසික රෝග රාශියකට මුල.
සමේ සහ කෙස් වල ගැටළු
සම වියළි හා රළු ස්වභාවයක් ගන්නවා. කෙස් ඉතා සිහින් වනවා.
ලිංගික අවශ්‍යතා අඩුවීම
හෝමෝන වල ඇතිවන වෙනස්කම් නිසා මෙය සිදුවනවා.
ඇනොරෙක්සියා නර්වෝසා සඳහා ඇති ප්‍රතිකාර
මේ සඳහා විශේෂඥ වෛද්‍ය උපදෙස් අවශ්‍ය වේද නැත්ද යන්න රෝගයේ බරපතල භාවය අනුව තීරණය වනවා.
මූලික අවස්ථාව
(ශරීර ස්කන්ධ දර්ශකය 17kg /m2 ට වැඩි හා අතුරු ආබාධ කිසිත් නැති විට) – විශේෂඥ වෛද්‍ය උපදෙස් අනවශ්‍යයි.
අතරමැද අවස්ථාව
(ශරීර ස්කන්ධ දර්ශකය 15 ත් 17ත් අතර, හා අතුරු ආබාධ කිසිත් නැතිවිට) – උපදෙස් අවශ්‍ය නමුත් එය වහා සිදු කල යුතු නැත.
රෝගය උත්සන්නව ඇතිවිට
(ශරීර ස්කන්ධ දර්ශකය 15 kg / m2 ට අඩු හා සිරුරේ පද්ධති අකර්මන්‍ය වි ඇති විට) වහාම විශේෂඥ වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.
ප්‍රතිකාර විධි
හොඳ ආහාර පුරුදු ඇති කිරීම
සෞඛ්‍ය සම්පන්න ආහාර වේල් 3ක් දිනකට ගැනීම පුරුදු කල යුතුයි. දිනපොතක් තබාගෙන් ආහාර ගැනීම පිළිබඳ සත්‍ය තොරතුරු එහි සටහන් කිරීම සිදු කල යුතුයි.
සතියකට 0.5 – 1Kg පමණ බර වැඩි වීමක් අරමුණු කරගත යුතුයි. (මේ සඳහා සතියකට අමතර කැලරි 3500 – 7000 අතර අවශ්‍ය වනවා) මීට අමතරව විටමින් හා ඛනිජ අතිරේකද ලබාදිය යුතුයි.
මානසික ප්‍රතිකර්ම
බුලීමියා තත්වයේදී මෙන්ම මෙහිදී ද රෝග තත්වය විග්‍රහ කර ඊට මූලික වූ විශ්වාසය ආදිය සොයා බලා ඒවා නිවැරදි කිරීමට අවශ්‍ය මානසික ප්‍රතිකර්ම සිදු කල යුතුය.
ඖෂධ වර්ග
මෙමගින් එතරම් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. මේ සමග දක්නට ලැබෙන අනෙකුත් සංකූලතා (විෂාදය වැනි) වලට ඖෂධ ලබාදිය හැකි නමුදු බොහෝවිට මෙම තත්ව ඇනොරෙක්සියා තත්වය පහව යනවිට පහව යනවා.
අවදානම් තත්වය පාලනය කිරීම
රෝගියා නිතිපතා හොඳින් පරීක්ෂාකල යුතුයි. ඇනොරෙක්සියා සමග ඇති වී ඇති අනෙකුත් කායික, මානසික ගැටළු වලට ප්‍රතිකාර කල යුතුයි.
මේ ඉන්නේ anorexia nervosa තත්ත්වයට ගොදුරු වුනු නිරුපන ක්ෂේත්‍රයේ නියුතු කිහිප දෙනෙක්.
0 comments: