Saturday, December 6, 2014

බුද්ධික ජයරත්න පළමුවරට මාධ්‍යයට හෙළිකරන කතාවක් විවාහය දෙදරායාම වසර දෙකක් සඟවාගෙන සිටියේ ඇයි?

by Api Nodanna Live  |  in Sri Lanka at  11:04 PM


 සමාජයට වසන් කළාට අද වන විට බුද්ධික ගෙවන්නේ හුදකලා දිවියක් නේද?
ඔව්. වසර 14ක් පැවැති මගේ විවාහ දිවිය 2013 ජනවාරි වන විට දෙදරා ගියා. 2014 ජනවාරි වන විට ඒ වෙන්වීමට නීත්‍යනුකූල බවක් ලැබුණා. අද වන විට මගෙ තනියට ඉන්නේ මගෙ දෙමව්පියන් හා මමත් මගෙ බිරිඳත් ආදරයෙන් හදාවඩාගත් මගේ හුරතල් බල්ලා පමණයි.
 14 වසරක විවාහය දෙදරා යාමට ප්‍රබල හේතු තිබිය යුතු නේද?
මිනිසුන් වශයෙන් එකට ජීවත් වෙන විට එකිනෙකාගෙන් එකිනකොට වැරදීම් වනවා. ඔය අවුරුදු 14ට ඇගෙන් මට වැරදි වන්නත් ඇති. මගෙන් ඇයට වැරදි වන්නටත් ඇති. ඒක ‍පොදු මිනිස් ගතිය. ඒත් මම දැඩි අවධාරණයෙන් කියනවා ඇයව මට අහිමි වී යාමට හේතු වුණේ මගේ වැරදි.
 වරද ඔබ අත බව ඔබම කියනවා. ඉතින් ඇයි ඒ වැරදි හදාගෙන ජීවිතය අළුතින් පටන් ගන්න හිතුවේ නැත්තේ?
මම මගේ ආත්ම ගෞරවය හා පිරිමිකම පවා අමතක කරලා ඇය ඉදිරියේ බැගෑපත් වුණා. ඒත් ඇය දැඩි තීරණයක හිටියා.
 දෙවසරකට ආසන්න කාලයක් ඔබ මේ සත්‍යය වසන්කරගෙන හිටියේ ඇයි?
දික්කසාදය පිරිමියෙකුට මාකට් එකක් හදනවා. නළුවකුට ඒ තත්ත්වය වැඩියි. ඒත් පුරුෂ මූලික මේ සමාජයේ දික්කසාද වූ ගැහැනිය දිහා බලන්නේ වපර ඇසින්. ඇය උතුම් කුල කතක්. ඇයට අබමල් රේණුවක අවමානයක් සිදුවනවා දකින්න මම කැමති වුණේ නැහැ. ඒ හින්දයි මම මේ තරම් කාලයක් මේ හැමදේම වසන් කරගෙන හිටියේ.
දැන් හෙළි කරන්න හිතුවේ?
අපේ වෙන්වීම ස්ථිර වූ පසු මම තීරණයකට එළැඹුණා. මම අලුත් තැනකින් ජීවිතය පටන් ගන්නවා නම් ඒ පටන් ගැනීම සිදුවෙන්නේත් අපේ දික්කසාදය මම හෙළිකරන්නේත් ඇය යළි ජීවිතය ආරම්භ කළ පසු බව මම තීරණය කළා. පසුගිය නොවැම්බර් 21 වැනිදා ඇය ආයෙම ජීවිතය අලුතින් ආරම්භ කළා. ඇයට ආදරය කරන යහපත් සැමියකු සමග අලුතින් ජීවිතය ආරම්භ කළා. දැන් ඔවුන් විදෙස්ගත වෙලා. ඉතින් දැන් මේ ගැන හෙළි කළාට කමක් නැහැනේ.
 මේ සිදුවීම බුද්ධිකගේ පෞද්ගලිකත්වයට අදාළ දෙයක්. දිගටම මේ රහස රැකගන්න ඕන කියලා හිතුනෙ නැද්ද?
මේ රහස රකින්න දෙවසරකට ආසන්න කාලයක් මා විඳි දුක දන්නේ මම. හැමෝම ඇය දන්නවා. මම මගෙ බිරිඳව මාධ්‍ය ඉදිරියටත් කැඳවාගෙන ගිහින් තියෙනවා. නළුවකු විදියට මට පුළුල් සමාජයක් ඇසුරු කරන්න සිදුවනවා. ඒ සමාජය තුළ මට සමාජශීලී අවස්ථා බොහෝමයක් තියෙනවා. ඒ හැම අවස්ථාවකටම මට තනියම යන්න සිදුවනවා. බොහෝ අය මගෙන් බිරිඳ ගැන අහනවා. මම ඒ හැම අවස්ථාවකම අසරණ වෙනවා. ඒ නිසා මා ඇත්ත කිවයුතුමයි.  මම මෙහෙම කිවුවහම ඔයා වුණත් විශ්වාස කරනවද දන්නෑ. අපි දෙන්නගෙ සමහර යාළුවෝ අපේ වෙන්වීම ගැන දැනගන්නේ ඔයා ලියන මේ ආටිකල් එක පත්තරේ පළ වුණ දාක.
 ඔබේ දෙමවුපියන් ඔබට සිදුවූ මේ සිදුවීම ගැන කම්පා වනවා ඇති?
මම පවු‍ලේ එකම දරුවා. මගෙ අම්මයි තාත්තයි මට ගොඩක් සමීපයි. විවාහ වූ පසුව මම හිටියේ ඒ අය එක්ක. මගෙ මවුපියන් මට වගේම ඇයටත් ආදරය කළා. ඇයත් ඒ වගේමයි. අපි වෙන්වූ පසුත් ඇය මගෙ  අම්මට කතා කරලා දුක සැප ඇහුවා. කොහොම හරි ඉතින් මගෙ විවාහය දෙදරා ගියානේ. අද මම වෙනදාටත් වඩා අම්මටයි තාත්තටයි ළංවෙලා ඉන්නවා.
 විවාහය දෙදරා යාම ගැන අද ඔබ තුළ තියෙන්නේ මොන විදියේ හැඟීමක්ද?
මේ සංසාරේ අනන්ත අප්‍රමාණ වතාවක් ඇය මට මුණගැහිලා ඇති. ඒ වගේම මතු උපදින භවයකත් අපි ආයේ මුණගැහෙයි. ඒක වළක්වන්න කාටවත් බැහැ. සංසාරේ කවදාහරි අපි ආයේ මුණගැසුණ දාට මේ වගේ ශෝකාන්තයක් හිමි නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තවත් දෙයක් තියෙනවා විවාහ ජීවිතවල ගැටලු තියෙනවා. සමහරු යාළුකමට ඒ ගැටලුවලට මැදිහත් වනවා. ඒත් විවාහ දිවියේ ගැටලුවලට මැදිහත් වන අයගේ යුතුකම ඒ ගැටලු විසඳීම මිසක් ඒ විවාහය බිඳී යාමට කටයුතු කිරීම නමෛයි. කවුරු හෝ කෙනෙකුගේ විවාහය බිඳ දැමීමේ අරමුණින් කේලම් කිවුවා නම් තියෙන ප්‍රශ්න තව තවත් ඇවිලුවා නම් ඒ තුළින් විවාහයක් දෙදරවන්නට කටයුතු කළා නම් ඒ පාප කර්මයෙන් ඒ අයට ගැලවෙන්න කවමදාවත් බැහැ. ඒත් මම එවැනි අයට ශාප කරන්නේ නැහැ. ඒ අයට අනුකම්පා කරනවා. ඒ අය සිදුකරගත් පාපය ඒ අයට තියෙයි.
 ඇය අද වෙනකෙනෙකුට හිමි වී අවසන්. ඔබ දිගටම මේ තනිකම තුළ ඉන්නවාද?
මව්පියන්ගේ ආදරය උපරිමයෙන් ලැබෙනවා. ඒත් බිරිඳකගේ ආදරයේ අඩුව මකන්න වෙන කිසිකෙනෙකුට බැහැ.
ඒ අඩුව මට තදින්ම දැනෙනවා. මට ආදරය අවශ්‍යයි.
 ඒ ආදරය අරගෙන තවත් කෙනෙක් මේ වෙද්දී ඔබේ ජීවිතයට ළංවෙලාද?
එහෙම දෙයක් වුණත් මම ඒක මාධ්‍යයෙන් වසන් කරන්නේ නැහැ. එදාට මම ඒ ගැන මාධ්‍යයට හෙළි කරනවා.
 ආරියවංශ කුලතිලක

Related Posts

0 comments:

Proudly Powered by Blogger.