Wednesday, December 3, 2014

ප්‍රභාකරන් මැරුණේ 'ෆැක්ස් ' එකෙන් පැමිණි වස් කවියක් කියූ නිසාය

by Api Nodanna Live  |  in Sri Lanka at  12:42 AM

“ධර්මද්වීපය” ලෙස හැඳින්විය යුත්තේ නිතර දෙවේ‍ලේ ගුවන්විදුලියෙන් රූපවාහිනියෙන් බණ කියවෙන, පිරිත් සජ්ක්ධායනා කෙරෙන දේශයකට නම්, අප ජීවත්වන්නේ ද දහම් දිවයිනකය. එහෙත්  මේ නාමික දහම් දිවයිනේ දිනෙන් දිනම වර්ධනය වෙමින් ඇත්තේ මිනීමැරුම්ය. සොරකම්ය. ස්ත්‍රී දූෂණය. මේ තත්ත්වයට හේතු වූ  ප්‍රචණ්ඩ භාවය ඕපපාතිකව හට ගැනුණක්ද නොවේ.
අපගේ අදහසට අනුව නම් ප්‍රචණ්ඩත්වය මුහුකුරා ගොස් කුඩා දරුවන් තුළට ද කාන්දු වීමට හේතු වී ඇත්තේ මේ රටේ ජීවත්  වන බහුතරයක් වැඩිහිටියන් සිතන්නට නොදන්නා මිනිසුන් හා කරන්නන් වා‍ලේ ක්‍රියා කරන්නන් වීමය. ඔවුන් ආගම අදහන්නේත්, ප්‍රීති උත්සව, සාද පවත්වන්නේත් හැඟීමකින් තොරවය. මෛත්‍රී භාවනාව සහ ඝාතනයේ සීමා මායිම්  ඔවුහු නොදනිති.
කලකට පෙර (90 දශකය මැද භාගයේ පමණ) ප්‍රභාකරන්ට ලියූ වස් කවියක්  විවිධ ආයතනවලට, පුද්ගලයන්ට ලිපි මගින් ෆැක්ස් මගින් බෙදා හැරුණු අයුරු මට මතක් වෙයි. මුළු රටම එක්ව එකම අවස්ථාවකදී මේ වස් කවිය කීමෙන් ප්‍රභාකරන්ට වස් වදිනු ඇතැයි ඉන් පළ කෙරුනේය. මේ සමගම එහි කිසියම් හාස්‍යජනක උපදේශයක් ද ලියැවි තිබිණි. ඒ, මේ වස් කවිය කීමට පෙර කරණීය මෙත්ත සූත්‍රය සජ්ක්ධායනය කළ යුතු බවයි.මේ කාරණා දෙකේ ඇති අහස ‍පොළොව වැනි පරතරය, ප්‍රතිවිරෝධීභාවය මේ වස් කවිය සම්පාදනය කෙරූවන් මෙන්ම එය කියවූවන් බහුතරයක් ද දැන සිටින්නට නැත.

නි‍ලේන්ද්‍ර දේශප්‍රියගේ “තණ්හා රතී රඟා”  නම් වූ සිනමා පටයේ වෙනසක්,  නවතාවක් අපට පෙනී යන්නේ මෙවැනි සන්දර්භයක් තුළය. කරන්නේ මොනවාදැයි නොදැන කරන්නන් වා‍ලේ වැඩ කරන ජාතියක, අමන රැඟුම් පෙන්වා දීමට මේ සිනමා කෘතිය ප්‍රශස්ත උත්සාහයක් දරා ඇති බවද පිළිගන්නට සිදු වෙයි. එහෙත් මේ අපූරු තේමාව, කාලීන ප්‍රකාශනය සිනමාත්මකව ප්‍රතිනිර්මාණය කිරීමට සිනමාකරුවා කොතෙක් දුරට සමත් වී ඇද්ද යන පැනය ද ඒ සමගම ඉතිරි වී තිබේ.
චිත්‍රපටයෙන් අපට හමුවන්නේ පුරුෂයෙක් නිසා අමාරුවේ වැටෙන ස්ත්‍රියකි.මේ දුබලතා බොහොමයක් ඉතා පහසුවෙන් මග හරවා ගැනීමට තිබූ බව අපට හැඟෙන නිසා අපූරු තේමාවකට ඒවායින් සිදුව ඇති අල්ප වූ හෝ අනර්ථය අප තුළ කනගාටුවක් ජනිත කරයි. මේවා තිරපිටපතේ යම් යම් ගැටලු හේතුවෙන් උද්ගත වූ දුබලතා වීමට බොහෝ දුරට ඉඩ තිබේ. මෙවැනි සුළු සුළු අඩුලුහුඬුකම් මධ්‍යයේ වුව නි‍ලේන්ද්‍ර දේශප්‍රියගේ වෑයම පැසසුම් කටයුතුය.
පත්තර වාර්තාවක්, රූපවාහිනි ප්‍රවෘත්තියක් ගෙඩිපිටින් ගෙන වැරදිකරුවන්, නිවැරදිකරුවන් නිගමනය කරමින් වාගාලාප දොඩන ජනතාවකට ඒවායේ පසුබිම් කතාව ගැන යළි සිතා බලන්නට නව මානයක් විවර කිරීමද තණ්හා, රති, රඟා හරහා සිදු වන සුවිශේෂී කාර්යයකි. ප්‍රශ්නයක් උද්ගත වූ විටදී ආරක්ෂක අංශ හා මාධ්‍ය හැසිරෙන ආකාරය පිළිබඳ දළ අදහසක් ඉදිරිපත් කිරීම ද යහපත්ය.
සිනමාව යනු හුදු යාන්ත්‍රික ක්‍රියාවලියක් හෝ කතන්දර කීමක් නොවන බව විදහා දක්වන සිනමා රීතිය නිසි ලෙස ප්‍රයෝජනයට ගැනුනේ නම් විශිෂ්ට චිත්‍රපටයක් නිෂ්පාදනය වීමට ඉඩ තිබූ බව අපගේ හැඟීමයි. ඒ අනගි අවස්ථාව තරමක් දුරට අපතේ ගොස් ඇති බවද අපගේ විශ්වාසයයි.

Related Posts

0 comments:

Proudly Powered by Blogger.