Saturday, December 20, 2014

නාඳුනන පෙම්වතාගේ විවාහ යෝජනාව

by Api Nodanna Live  |  in Sri Lanka at  8:12 PM

ප්‍රදීපාව මනෝ වෛද්‍ය ප්‍රතිකාර කරා ගෙන ගියා
ප්‍රදීපා මනෝ වෛද්‍යවරයෙකු කරා එක්කර ගෙනැවිත් තිබුණේ ඇගේ මවයි. රැකියාවක් නොකරන වයස තිස් දෙකක් වූ ප්‍රදීපා තවම අවිවාහකයි.
“අනේ ඩොක්ටර් මට මැරෙන්න ඕනේ. මට එයාව දකින්නෙ නැතුව ජීවත් වෙන්න බෑ”
ප්‍රදීපා වෛද්‍යවරයා ඉදිරියේ සැල කර සිටියා.
“ඔයා බැඳලද?” වෛද්‍යවරයා විමසුවා.
“නෑ ඩොක්ටර් මං ආදරය කරන කෙනා ළඟදි දවසක රට ගියා. එයා ගිහින් තියෙන්නේ අවුරුදු ගණනකට. මං කොහොමද ඩොක්ටර් එයා නැතුව ඉන්නෙ? මට තවදුරටත් ජීවත් වෙන්න බෑ ඩොක්ටර්” ප්‍රදීපා කීවේ තරමක් ආවේගශීලීවයි.
ඉන්පසු මව මනෝ වෛද්‍යවරයා වෙත සංඥාවක් කර “මට ඩොක්ටර් එක්ක කතා කරන්න ඕනෙ” යනුවෙන්  ප්‍රදීපාට නොතේරෙන පරිදි පැවැසුවා. වෛද්‍යවරයා මඳකට ප්‍රදීපාව පිටත රඳවා මවට කතා කිරීම සඳහා අවස්ථාව සලසා දුන්නා.
“එහෙම කවුරුත් එක්කවත් දුවගෙ සම්බන්ධයක් නෑ ඩොක්ටර්” මව කතාව ආරම්භ කළේ  ඒ විදිහටයි.
ඉන්පසු මව කීවේ දීර්ඝ විස්තරයක්. මවගේ කතා බහෙන් පසු නැවත ප්‍රදීපාවත් කැඳවා මනෝ වෛද්‍යවරයා ඇයගෙන්ද කරුණු විමසා සිටියා.
ප්‍රදීපා එක්තරා අවස්ථාවක තවත් මිතුරියකද සමගින් නීතිඥවරයකු හමුවන්නට ගියේ එම මිතුරියට නීති උපදෙසක් අවශ්‍ය වීම නිසයි. මෙහිදී තමයි මුලින්ම මේ නීතිඥවරයාව ප්‍රදීපාට දැක ගන්න අවස්ථාව ලැබෙන්නෙ. ඔහු ඒ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පුද්ගලයෙක්. ඒ වගේම විවාහකයෙක්. මේ තැනැත්තා මිතුරියට නීති උපදෙස් ලබා දෙන අතරේ වතාවක් දෙකක් ප්‍රදීපා දෙසත් බැලුවේ ඔහු කියන කාරණා දෙදෙනාටම ‍පොදුවේ පැවසීමක් වශයෙනුයි.
කෙසේ හෝ එදායින් පසු ප්‍රදීපාට මේ නීතිඥවරයා පිළිබඳ නිතරම සිතට නැගෙන්නට වුණා. ඇයට සිතුනේම ඔහු තමා දෙස අමුතු ආකාරයට බැලුවා කියලයි. ඒ අනුව ඔහු තමා ගැන උනන්දු බවටත් ඔහුගේ සිතේ තමා කෙරෙහි ආදරයක් ඇතිවී තිබෙන බවටත් ප්‍රදීපා තුළ තදබල විශ්වාසයක් ඇති වුණා.
ඉන්පසු ඔහුගේ කාර්යාලය අවට නිතර ගැවසෙන්නටත් ඔහුගේ වාහනය හඳුනාගෙන එය පිටත්ව යන විට නොපෙනී බලා ඉන්නටත් ප්‍රදීපා හුරු වුණා. නමුත් ප්‍රදීපා ගැන කිසිවක් නීතිඥවරයා දැන නොසිටි සේම ඇය ගැන මතකයක් ඔහුට තිබුණෙත් නෑ. ඒ නිසා මේ තරුණිය තමා අවට වරින්වර ගැවසීම නීතිඥවරයාට අමුත්තක් වුණේ වත්, ඒ ගැන ඔහු අවධානය යොමු කළේ වත් නෑ.
නමුත් ප්‍රදීපාට සිතුනේ ඔහු තමාට ඉතා තදින් ආදරය කරන බවයි. ඔහු කමිසය අඳින විදිය ටයිපටිය පළඳින විදිය මේ හැම එකකින්ම ඔහු තමාට ඉඟි කරන බවත් ප්‍රදීපාට සිතුනා. ඔහු තමාට කතා නොකරන්නේ කෙළින්ම ඒ ගැන පැවසීමට තිබෙන ලැජ්ජාවට යැයි ප්‍රදීපා තීරණය කළා.
මේ විදියට වරින් වර කිසිවකුට අමුත්තක් නොදැනෙන පරිදි නීතිඥවරයාගේ කාර්යාලය අසල ගැවසුණු ප්‍රදීපා ඔහු වෙත නඩුවක් භාර දීම සඳහා පැමිණි කාන්තාවක සමග බොහෝ සෙයින් හිතවත් වුණා. ඒ අනුව දිනක් ඇය නීතිඥවරයා හමුවන්නට ඔහුගේ කාර්යාලයට යන අවස්ථාවක ඇයත් එහි ගියා. නමුත් ඇයට ඇතුළට යන්නට හැකියාවක් නොතිබුණු නිසා එම කාන්තාව පැමිණෙන තුරු ඇය පිටතට වී බලා සිටියා. එහිදීත් ප්‍රදීපාට සිතුනේ නීතිඥවරයා කාටත් නොදැනෙන සේ තමා දෙස බලන බවකුයි.
දිනක් ප්‍රදීපා තම මවටත් මේ පිළිබඳව පැවැසුවා. එනම් අසවල් නීතිඥවරයා සමග තමාගේ සම්බන්ධයක් ඇති බවයි. මව මේ ගැන එකවරම විශ්වාස කළේ නෑ. ඇය දියණියට නොදැනෙන්නට මේ සම්බන්ධයෙන් සොයා බැලුවා. එහිදී එවැනි සම්බන්ධයක් කිසිසේත්ම නැති බව මව දැන සිටියා. නමුත් ප්‍රදීපා එය පිළිගත්තෙ නෑ. ඇය මවට කීවේ ඔහු කිසිවකුටත් නොදැනෙන පරිදි තමා දෙස බලන බව හා ඉඟි කරන බවයි. ඇතැම් අවස්ථාවල ඔහු තමා  පසු පසින් පැමිණෙන බවත් ඇය මව සමග කියා සිටියා.
දියණියගේ මානසික අසාමාන්‍යතාවයක් ඇති බව මවට දැනුණත් දියණිය එය කිසිසේත් පිළිනොගත් නිසා ඇය මනෝ  වෛද්‍යවරයකු වෙත කැඳවාගෙන යාමට මවට ඉඩක් ලැබුණෙ නෑ.
මේ අතර ප්‍රදීපා සෑහෙන උත්සාහයක් දරා ඔහුගේ උපන් දිනය සොයා ගත්තා. ඔහු වෙනුවෙන් ත්‍යාගයක් මිලදී ගත් ප්‍රදීපා ඊට සුබ පැතුම් කාඩ්පතක්ද අමුණා අලංකාර කඩදාසියකින් හොඳින් එය එතුවා. නමුත් මේ ත්‍යාගය ඔහු අතට පත් කළේ නෑ. ඒ බැරි වෙලාවත් එයා මේක ප්‍රතික්ෂේප කළොත් කියන දෙගිඩියාව ඇගේ සිතේ ඇතිවුණු නිසයි. ඒ අනුව ඇය එම පාර්සලය තමා ළඟම තබා ගත්තා. කෙසේ වුවත් ඔහු තමා දෙන තෑග්ග පිළිගත්තත්, නැතත් ඔහු තමාට බෙහෙවින් ආදරය කරන බවට නම් ඇය දැඩිව විශ්වාස කළා.
ප්‍රදීපා තමාගේ කාලයෙන් වැඩිපුර කොටසක් යෙදවූයේ නීතිඥවරයා ගැන සිතන්නටයි. ඔහු විවාහකයකු වීම ඇයට ගැටලුවක් වුණේ නෑ. ඔහු බිරිඳව අතහැර  තමා වෙත එයි කියා ඇය සිතුවෙත් නෑ. නමුත් ඔහු තමාට ආදරය කරන බවට ඇගේ සිතේ පැවැති දැඩි  විශ්වාසය ඉවත් වුණේත් නෑ.
ඔය අතරෙ එම නීතිඥවරයා තම බිරිඳ සහ දරුවන් ද සමග වසර කිහිපයකට පිටරට පදිංචියට ගියා. මෙය ආරංචි වූ සැනින් ප්‍රදීපා හැසිරුණේ උමතු වූ විලාසයෙනුයි. ඔහුගේ වියෝව දරා ගන්න බැරිව ඇය හඬා වැළපෙද්දී තමයි ප්‍රදීපාගේ මව ඇය මනෝ වෛද්‍යවරයෙකු වෙත එක්කර ගෙන ආවේ.
ප්‍රදීපාට වැළඳී තිබුණේ මානසික ආබාධයක්. එය හඳුන්වන්නේ එරොටොමේනියා නමින්.
ඒ වගේම මෙය ආදර මෝහයසහ ඩි ක්ලැරම්බෝල්ට් රෝගය ලෙසින් ද හඳුන්වනවා. මේක මෝහාබාධ ගණයට අයත් මානසික රෝගයක්. වයස තිස්හතළිස් ගණන්වල අයට මෙම රෝගය වැළඳීමේ හැකියාව වැඩි අතර මෙය වැඩිපුරම දක්නට ලැබෙන්නේ කාන්තාවන් අතරේයි. නමුත් එම වයස් කාණ්ඩයේ කාන්තාවන් වැඩි පිරිසකට මෙම රෝගය වැළඳෙන බවක් මෙයින් අදහස් කරන්නේ නෑ. තමා ඇසින් දුටු හෝ තමා නන්නාඳුනන අයකු හෝ තමාට ආදරය කරන බවට ඇති වන වැරදි විශ්වාසයක් මේ. තමාට වඩා ඉහළ මට්ටමක සිටින අයකු සම්බන්ධයෙන් තමයි මේ හැඟීම ඇති වන්නෙ. එම තැනැත්තා රූපවාහිනියෙන් පමණක් දුටු විදෙස් රටක සිටින ජනප්‍රිය කෙනෙකු වෙන්නත් පුළුවන්. එහිදී ඔහු රූපවාහිනියෙන් කතා කරන්නේ තමා දෙස බලාගෙන බවට දැඩි විශ්වාසයක් ඇති වෙනවා. එසේම රූපවාහිනියෙන් ඔහු තමාට ඉඟි කරන බවක්ද ඔවුන් සිතනවා.
ඉහත කී සිද්ධියේ ප්‍රදීපා මෙන් තමා දන්නා කියන කෙනෙකු සම්බන්ධයෙන් යම් කාන්තාවක් තුළ මෙවැනි වැරදි විශ්වාසයක් ඇති වුවහොත් ඔවුන් ඒ පිරිමින් ගැන ඔත්තු කාරයන් පවා දමා සොයා බලන අවස්ථා තිබෙනවා. තමා හා ඔහු අතර එවැනි සම්බන්ධයක් තිබෙන බවට ඔහු විවාහකයෙක් නම් ඔහුගේ බිරිඳට පවා ඒත්තු ගන්වන්නත් පෙළඹිය හැකියි.
ප්‍රදීපාට එරොටොමේනියාවට අමතරව විශාද රෝගයත් හටගෙන තිබුණා. මෙය සම්පූර්ණයෙන්ම මනෝ වෛද්‍ය ප්‍රතිකාර  මගින් සුව කළ හැකියි.

(මානසික රෝග විශේෂඥ වෛද්‍ය අනුරාධ ඇල්ලෙ‍පොළගේ වෘත්තීය අත්දැකීමක් ඇසුරිනි)

 ඉන්දු පෙරේරා

Related Posts

0 comments:

Proudly Powered by Blogger.