Sunday, January 18, 2015

මෛත්‍රී පාලනයත් සමඟ සොයාගත් අවි ආයුධ, සුපිරි මෝටර් රථ හා මහා පරිමාණ නාස්තීන් පිළිබඳ සම්පූර්ණ වාර්තාව මෙන්න

by Api Nodanna Live  |  in Hot at  7:41 PM

මත්පැන් බෝතල් 60,000ක්
බිත්ති ඔරලෝසු 68,000ක්
ආයුධ කන්ටේනර් සහිත නැවක්
සුපිරි මෝටර් රථයක්

නව ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තියත් දේශපාලන බල පෙරලියත් නිසා මේ වන විට දිවයිනේ නන්දෙසින් විවිධාකාරයේ අයතා ගණුදෙනු මෙන්ම අයිතිකරුවෙකු නොමැති වාහන, අවිආයුධ හා විවිධාකාරයේ ද්‍රව්‍ය රැසක් සොයාගෙන තිබෙනවා. ඒ පිළිබඳ සම්පූර්ණ වාර්තාවකුයි මේ.

ඊයේ (18) ගාල්ල වරායේ නෞකාවක තිබී ආයුධ සහිත කන්ටේනර් කිහිපයක් සොයාගැනීමට පොලිසිය සමත් වුණා. ගාල්ල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරකට අනුව ගාල්ල වරායේ නවතා තිබූ කන්ටේනර් සහති නැවක් මෙලෙස පරීක්ෂාවට ලක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙස්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවා.

පොලීසිය සදහන් කළේ ගාල්ල වරායේ නැංගුරම් ලා තිබූ මහනුවර නැමැති එම නෞකාව ඇවන්ගාඩ් නම් පෞද්ගලික ආරක්ෂක සේවාව මගින් කුලියට ගෙන පවත්වාගෙන යන නැවක් බවයි.

එම නැව තුළ තිබූ කන්ටේනර් 22 ක් අතුරින් 20 පරීක්ෂා කිරීමේදී ගිනි අවි තොගයක් සොයාගත් බව සිද්ධිය පිළිබද පරීක්ෂන පවත්වන නියෝජ්‍ය පොලිස්පතිවරයා එහි සිටින මාධ්‍ය වෙත සදහන් කළා.

එම ගිනි අවි අතර ටී - 56, මැෂින් තුවක්කු, 84 එස් රයිෆල් වැනි ආයුධ හා 3000 කට ආසන්න ස්වයංක්‍රීය සහ අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි ඇති බව එය භාරව සිටි පුද්ගලයින් පොලිසියට පවසා තිබෙනවා. නැවේ බලධාරීන් පවසා ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය මගින් ලබාගත් අවසරයක් මත නැව්වලට ආරක්ෂාව සැපයීම සදහා පාවෙන අවි ගබඩාවක් මෙම නැව තුළ පවත්වාගෙන යන බවයි.

එමෙන්ම ලද පැමිණිල්ලකට අනුව මත්පැන් බෝතල් 60,000 ක තොගයක් කොළඹ සංවිධානාත්මක අපරාධ සහ දූෂණ මර්දන කොට්ඨාශය පසුගිය 17 වනදා අත්අඩංගුවට ගත්තා.

ඒ දෙමටගොඩ ප‍්‍රදේශයේදීයි. ඒ පිළිබඳව අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළේ වයඹ ඩිස්ටීලරීස් නම් සමාගමක මේවා නිපදවා ඇති බවයි. බලපත‍්‍ර රහිතව මෙම මත්පැන් නිපදවා හෝ ගබඩා කර තිබුණේ ද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙනවා.

එසේම නීතිවිරෝධී මත්පැන් බෝතල් 60,000 ත් සමඟ අත්අඩංගුවට ගනුලැබූ සැකකරුවන් 8 දෙනා මාළිගාකන්ද මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන බව කොළඹ සංවිධානාත්මක අපරාධ සහ දූෂණ මර්දන කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයා පවසනවා.

ඔහු කියා සිටියේ දැනට සිදුකර ඇති පරීක්ෂණ සම්බන්ධයෙන් වාර්තාවක්ද මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන බවයි.විශාල ප‍්‍රමාණයේ කන්ටේනරයක් සහ ලොරි රථ 3 ක මෙම මත්පැන් තොගය පටවා තිබියදී හමුවී තිබෙනවා.

තවද සපුගස්කන්ද - හෙයියන්තුඩුව - මාබිම ප‍්‍රදේශයේ ගබඩාවක තිබී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂයේ රුව ඇතුළත් බිත්ති ඔරලෝසු 68,000ක් සොයාගෙන තිබෙනවා. සපුගස්කන්ද පොලීසියට ලද තොරතුරක් මත මෙම ගබඩාව සෝදිසි කර ඇති අතර එහි තිබී ජනාධිපතිවරණයට අදාළ පෝස්ටර් තොගයක් ද සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

ගබඩාවේ හිමිකරුගෙන් කරන ලද ප‍්‍රශ්න කිරීම්වලින් හෙළි වී ඇත්තේ මෙම ගබඩාව වරාය අධිකාරිය මාසිකව රුපියල් ලක්ෂ 15ක මුදලකට කුලියට ගෙන ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

තවද පිළියන්දල නගරයට ආසන්න නිවසක තිබී ධාවන තරඟ සඳහා භාවිත කරන රේසිං වර්ගයේ මෝටර් රථයක් පොලිසිය සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ මිතුරෙකු විසින් තමන්ට එය ලබාදුන් බවට අදාළ නිවසේ හිමිකරු පොලිසියට ප‍්‍රකාශයක් සිදුකර ඇති බවයි. කෙසේ වෙතත්, ඒ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ කි‍්‍රයාත්මක බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළා.

එහි සම්පූර්ණ වීඩියෝව පහතින්....

Related Posts

0 comments:

Proudly Powered by Blogger.