Thursday, January 8, 2015

අයියෙ මමත් දැන් ජීම් යනවා

by Api Nodanna Live  |  in Sri Lanka at  11:25 PM

සමහරු උපන්දා සිටම තම සිරුරට ආලය කරන අතර මනා ලෙස එය නඩත්තු කිරීමට උත්සුක වෙති. තවත් සමහරුන් මද කලක්‌ ගිය පසු එනම් තම උදරය ඉදිරියට නෙරා විත් පපුව එල්ලා වැටී ෆුල් ඔප්ෂන් හෙවත් සීනි, කොලස්‌ටරෝල් සහ ප්‍රෙෂර් වැනි රෝග තත්ත්ව ත්‍රිත්වයටම පාදක වෙද්දි තම සිරුර ගැන සිතන්නට පටන් ගනී. නැතහොත් වෛද්‍යවරු පෙම්වතා පෙම්වතිය හෝ ආදරය කරන තවත් කෙනෙක්‌ගේ උපදෙස්‌ මත යළිත් වතාවක්‌ තම සිරුර ගොඩගන්නට යොමු වෙති. තවත් සමහරු නම් දොස්‌තර නොව අම්මා මුත්තා කියූවත් තම වැරදි පුරුදු අත්හැර නිරෝගී වෙන්නට කැමැත්තක්‌ නොදක්‌වති.

නිරෝගී සිරුරක්‌ සඳහා ව්‍යායාම ඉතා අවශ්‍ය දෙයකි. අපේ පැරැන්නෝ තම සිරුර මනාව පවත්වා ගත්තේ මහන්සි වී කැත්තේ, උදැල්ලේ, හේනේ, කුඹුරේ වැඩ කිරීමෙනි. එසේත් නැත්නම් හේවායෙක්‌ ලෙස රාජ සේවයට බැඳී කඩු හරඹ, අසුන් පැන්නීම, ගුස්‌ති, මල්ලවපොර, අංගම්පොර වැනි ශිල්ප ප්‍රගුණ කිරීමෙනි. නැට්‌ටුක්‌කාරකම් කිරීමෙන්ද මනා නිරෝගී සිරුරක්‌ පවත්වා ගැනීමට එදා අය ක්‍රියා කළහ. ගෝඨයිම්බර, වේලුසුමන, නන්දමිත්‍ර, ඵුස්‌සදේව වැනි ගැමුණු බළකායේ සිටි යෝධයන් ගස්‌ ගල් පෙරලමින්, කිඹුලන් දෙකට ඉරමින්, දුවන අලි ඇතුන් හඹා ගොස්‌ බාහුවෙන් අල්ලා පොළවේ ගසා තම සිරුරේ ශක්‌තිය වර්ධනය කර ගති. විශ්ව සාහිත්‍යයේ එන සැම්සන්ලා, හර්කියුලිස්‌ලා, යුලිසීස්‌ලා, ලාන්ස්‌ලොට්‌ලා පවා තම සිරුර සවිමත්ව තබා ගනු පිණිස විවිධ දේ කරන්නට ඇත.

එදා විසූ අපේ ගැහැනුන්ද හතර අතට නැමි නැමී දර කපමින්, දිය අදිමින්, දියබුං ගසමින්, උකුළේ කළේ තියාගෙන ලැසි ගමනින් යමින් තම සිරුරේ හැඩය නඩත්තු කර ගති. වීදාගම හාමුදුරුවන් 'සිසිවන වුවන ඉඟ සුඟ ගත හැක මිටින - නිසි පුළුලුකුල රිය සකයුරු තිසර තන' කියා විස්‌තර කළේ මෙවැනි ගැහැනුන් දැක හටගත් මනෝ භාවයෙන් පසුව විය යුතුය.

ඇත්තම කීවොත් අද එවැනි හැඩ ඇති ගැහැනු පිරිමි අප සමාජයේ ඉතා අල්පය. සිටියද ඒ පසු කලෙක බොහෝ අමාරුවෙන් දුක්‌ විඳ ඇඟ පත හදා ගත් අයයි.

කෙසේ වෙතත් අද කාලයේ යමෙකුට අවශ්‍ය නම් තම සිරුර ලස්‌සනට හදාගන්නට ඒ සඳහා යා හැකි ස්‌ථාන නම් අද ඉතා සුලබය.

ආරක්‍ෂක ලේකම්වරයාගේ, මනෝභාවය මත අද නගර ආශ්‍රිතව තැනින් තැන ඉදිවෙන ඇවිදින මංතීරු සහ ව්‍යායාම් උද්‍යාන නිසාද අද බොහෝ අය ව්‍යායාම් කිරීමට පෙළඹෙති. විවිධ ක්‍රීඩා ඇඳුම් ඇඳ සපත්තු දෙපයේ ලාගෙන පැද්දෙන ගැස්‌සෙන හෙල්ලෙන උජාරු ගමනෙන් ඇවිදින, දිවයන, හිටිහැටියේ එක තැන නැවතී උඩ පැන බිම වැටී දිගාවී අත පය වීසිකර ව්‍යායාම් කරන නගරයේ මධ්‍යම පන්තියේ සහ උසස්‌ පන්තියේ නෝනලා මහත්තුරු සහ බේබිලාව අද අපි අනන්තවත් දකිමු. ඔවුන් තම සිරුර හදා ගන්නට ගන්නා උත්සාහය ගැනත් එසේ ඒ සඳහා උපකාර වන මංතීරු උද්‍යාන සහ දැන්වීම් පුවරු වැනි සමාජ සාධකත් අපි ඉත සිතින් අගය කරමු.
දැන් ඊළඟට අපි ජිම් සහ එරෝබික්‌ පන්ති ගැන බලමු. මා නිරීක්‍ෂණය කළ පරිදි අවම වශයෙන් කොළඹ නගරය තුළ පමණක්‌ 'ජවසරඹහල්' හෙවත් ව්‍යායාම ශාලා සහ රිද්මයානුකූල ව්‍යායාම් පන්ති දෙදාහකට ආසන්න ගානක්‌ ඇත. ගාල්ල, මාතර, නුවර, කුරුණෑගල, අනුරාධපුර වැනි නගරවලද මෙවැනි ස්‌ථාන බහුලය. ජිම්නේසියම් එකක්‌ හෙවත් සමාජයේ භාවිත භාෂාවෙන් ජිම් යයි කියන තැන් වලින් කෙරෙන්නේ ව්‍යායාම සහ යන්ත්‍ර උපකාරයෙන් සිරුරේ නිරෝගිභාවය සහ හැඩය වැඩිකර දීමයි.

එරෝබික්‌ නමැති ක්‍රියාවෙන්ද කරන්නේ එයට සමාන කාරියකි. නමුත් එහිදී යන්ත්‍ර උපයෝගි කර නොගන්නා අතර සංගීත නාදයන් හෝ රිද්මයන් උපයෝගි කරගෙන සිරුරට සුවයක්‌ ලබා දෙයි. ඇත්තටම මේ එරෝබික්‌ ව්‍යායාමය මුලින්ම පටන් ගන්නේ හෘද රෝගීන්ගේ සුව සෙත පිණිස වන අතර එරෝබික්‌ යන්නේ නිර්වචනය වනුයේ සාත්වික සහ රිද්මයානුකූල ව්‍යායාම මගින් ස්‌වාසයේ සහ හෘදයේ කන්තුවලට සැහැල්ලුවක්‌ ලබා දීමයි. මුලින් හෘදයාශ්‍රිතව තිබුණද අද කෙමෙන් මෙය මුළු සිරුරටම පෙනුම දෙන කර්මාන්තයක්‌ බවට පත්ව ඇති අතර වැඩිපුරම එරෝබික්‌ පන්තිවලට එන්තේ තරුණියන් සහ තරුණ කාන්තාවන්ය.

'අපේ ජිම් එක තියෙන්නේ හරියටම නගරෙ මැද බිල්ඩිමක තුන්වැනි තට්‌ටුවේ නිසා ගොඩක්‌ අයට මේක පේනවා. දවසකට විසි තිස්‌ දෙනෙක්‌ එනවා සාමාජිකත්වය ඉල්ලගෙනයි, ව්‍යායාම් පුහුණුවයි ඉල්ලගෙන. ඇත්තටම අපිට බැහැ මේ ඔක්‌කොටම සේවය සපයන්න. අපේ මධ්‍යස්‌ථානය හැමදාම හවුස්‌ ෆුල් සාමාජිකයොත් දාහකට වැඩියි. දැන් 'මෙහෙම කිව්වෙ කොළඹට ආසන්න උප නගරයක ජවසරඹහල් පාලකයෙක්‌, ප්‍රවීන ව්‍යායාම උපදේශකයෙකුද වන ඔහු කියන විදියට මෙතනට වැඩිපුරම එන්නේ තරුණයන් සහ විවාහක තරුණ ගැහැනුන්. ඒ අයගෙ ඉල්ලීම් සහ අරමුණු අහද්දී ඔහු කියන්නේ ඔහුට පිස්‌සු හැදෙන බවයි.

'කොල්ලන්ට ඕනි සතියෙන් දෙකෙන් බඩ බස්‌සගෙන සික්‌ස්‌ පැක්‌ එක හදාගන්න"

(සික්‌ස්‌ පැක්‌ එක යනු ළය සහ යටි බඩ අතර ඇති කර ගන්නා දෙපැත්තට දෙක බැගින් බෙදෙන මස්‌ පිඩු හයයි) මං දන්න සාත්තරේට අනුව අඩුම ගානේ මාස හයක්‌ වත් යනවා ඇඟේ පොඩි හරි වෙනසක්‌ කර ගන්න. ඒකත් ලේසියෙන් බැහැ ඇඟ හොඳටම මහන්සි කරල ව්‍යායාම කරන්න ඕනි. දවසක්‌ ඇර දවසක්‌වත් කෑමෙන් බීමෙන් පරිස්‌සම් වෙන්න ඕනි. ඊට අමතරව විටමින් වර්ග එහෙමත් ගන්න ඕනි. අපේ අය මෙම්බර්ෂිප් එක අරගෙන සතියක්‌ දෙකක්‌ වෙලාවට ඇවිත් පුහුණු වෙනව. ඊට පස්‌සේ නවතිනවා. හැබැයි දිගටම කරන අයට හොඳ ප්‍රතිපල තියෙනවා'

සාමාන්‍යයෙන් මෙවන් ජිම්වල කාන්තා සහ පිරිමි කියල කොටස්‌ දෙකක්‌ වෙන් කර ඇත. පිරිමින් සඳහා පිරිමි උපදේශකවරයෙක්‌ද, කාන්තාවන් සඳහා කාන්තා උපදේශිකාවක්‌ද සිටී. නමුත් අප දුටු සමහර ස්‌ථානවල කාන්තාවන් සඳහා ද උපදෙස්‌ දෙන්නේ හොඳින් මස්‌ පිඩු හදාගෙන ඉන්නා තරුණ කොල්ලෙකි.

ගාලුපාරට මුහුණ ලා ඇති ජිම් එකක සේවය කරන මනා හැඩැති සිරුරකට හිමිකම් කියන ජින් අපට මෙසේ කියයි.

'මං උපදෙස්‌ දෙන්නෙ ගැහැනු අයට. සමහර ලේඩීස්‌ලා එක්‌aක වැඩ කරන්න හරිම අමාරුයි. කෙල්ලො එහෙම නැහැ. කියන දේ කරනවා ඉවසීමක්‌ තියෙනවා. වුවමනාවක්‌ තියෙනවා. හැබැයි මිඩ්ල් ඒ- ගෑනු අය හිතන්නෙ මේක සෙල්ලම් වැඩක්‌ කියල. ඒ ගොල්ලන්ගේ හිතේ සල්ලි වියදම් කළාම ඇඟ ලස්‌සන කරගන්න ඇහැකි කියලයි. ලබු ගෙඩි දෙකක්‌ වගේ බ්‍රෙස්‌ට්‌ එකක්‌ එල්ලගෙන කළයක්‌ වගේ බඩ ගෙඩියක්‌ ඉස්‌සරහට දාගෙන එනවා. කියන දෙයක්‌ අහන්නෙ නැහැ. කෑමෙන් පරිස්‌සමක්‌ නැහැ හැබැයි ඉක්‌මණට කෙට්‌ටු වෙන්නයි ලස්‌සන වෙන්නයි හදන්නේ. මම ඉතින් ඒ අයව මානසිකව වට්‌ටන්නෙ නැහැ. හොඳින් කියල දෙන්න බලනවා. ඒ අයටම තේරෙන්න අරිනව බොහෝම පොඩි පිරිසක්‌ හරියට කෝස්‌ එක µලෝ කරනවා. ගොඩක්‌ අය මගදීම හැලෙනවා. ඒ එක්‌කම කියන්න ඕනි සමහරු කැමති නැහැ අපෙන් ඒ කියන්නෙ ලේඩි ඉන්ස්‌ට්‍රක්‌ටර් කෙනෙක්‌ යටතේ එක්‌සයිස්‌ කරන්න. ඒ අය ඉල්ලන්නේ යංග් බෝයිස්‌ලව. අපිට මොකෝ එයාලගේ කැමැත්තනෙ අපිත් කොල්ලෙක්‌ ගාවට දානව හැබැයි පොඩි පොඩි දේවල් ඒ ගොල්ලො අතර වුණාට විනය විරෝධී අශීලාචාර දේවල් නම් මේක ඇතුළෙ වෙන්නෙ නැහැ. එළියට ගිහින් ඕනි එකක්‌ ඒවා අපිට අදාළ නැහැ.

වැඩ අධික කාර්ය බහුලකම නිසා බොහෝ අය තම ව්‍යායාම සඳහා තෝරා ගන්නේ උදෑසන කාලය හෝ සන්ධ්‍යාව බව අපි නිරීක්‍ෂණය කළෙමු. ක්‍රීඩා ඇඳුමෙන් සැරසී පිට අයට පෙනෙන්නට ඉන්නටත් මමත් දැන් ජිම් යනවා කියන්නටත් කැමති ගැහැනු අය මෙන්ම පිරිමි අයත් ව්‍යායාම ශාලාවලට එන බව අපි දුටිමු.

වසර පහළොවකට අධික කාලයක්‌ තිස්‌සේ ව්‍යායාම් උපදේශකයකු ලෙස මධ්‍යස්‌ථාන දහයකට වඩා වැඩියෙන් සේවය කර ඇති දැන් පුහුණුකරුවන් සහ උපදේශකයන් පුහුණු කරවන සැන්ඩෝ හෙවත් ජිම් බ්‍රවුන් ලෙසින් ව්‍යායාම ක්‍ෂේත්‍රයේ කවුරුත් දන්නා ටිරෝන් මෙහෙම අදහස්‌ දැක්‌වීය.

'ජිම් යනවයි කියන එක දැන් මෝස්‌තරයක්‌ වෙලා. ගොඩක්‌ අයට තමන්ගේ ඇඟ හදාගන්න හිතෙන්නේ කසාද බඳින්න යද්දි. එහෙම නැත්නම් බෝයි ෙµ්‍රරෙන්ඩ්, හරි ගර්ල් ෙµ්‍රරෙන්ඩ් හරි කියද්දි. එහෙම නෙමෙයි, අපි අපේ ඇඟ ගැන හිතන්න ඕනි. මේ වගේ ආයතන තියෙන්නෙ ඒවට තමයි. අපි කැපවෙලා ඉන්නේ මෙහෙට එන අයට අවශ්‍ය උපදෙස්‌ ලබා දෙන්නයි. හැබැයි මං දන්න මධ්‍යස්‌ථාන කීපයක්‌ම තියෙනවා. මිනිස්‌සු නොමඟ යවන සහ වැරදි විදිහට සල්ලි ගන්න. ඒ වගේම අවලං වැඩ වෙන තැන් ගැනත් මට ආරංචිවෙලා තියෙනවා. දැන් මගේ රස්‌සාව හොඳ පුහුණුකරුවන් බිහිකරන එක වගේම මගේ වගකීම තමයි සේවය සොයා එන අයට ඇත්ත කියල දැනුවත් කරන එක. 'විවිධාකාරයෙන් ගොසින් මම එරෝබික්‌ පන්ති කිපයක්‌ම නිරීක්‍ෂණය කළෙමි. ඇත්තටම සමහර ඒවායේ ක්‍රියා කලාපය බලන්නට ලස්‌සනය. මනා රිද්මයකින් සහ ස්‌වරමාධුර්ය සුසංයෝගයකින් තරුණියෝ සහ මැදිවියේ ගැහැනු සංගීතයට නතු වෙමින් තම සිරුර එහෙට මෙහෙට නළවති. වරක්‌ මා නාට්‍යයකට නිsළියන් තෝරන විලාසයකින් පන්නිපිටියේ හයිලෙවල් පාර ආසන්නයේ පන්සලක බණ මඩුවේ පවත්වන කාන්තාවන්ට පමණයි. එරෝබික්‌ පන්තියට රිංගා කරුණු කාරණා විමර්ශනය කළ අතර එතැන සිටි බවලතුන් විසි එක්‌දෙනාගෙන් දහනම දෙනෙක්‌ම වේදිකා නාට්‍යයක හෝ ටෙලි නාට්‍යයක ලැබෙන ඕනෑම චරිතයක රඟපාන්නට කැමැත්ත පළකර සිටි අතර වැඩිම අවශ්‍යතාවක්‌ පෙන්වූයේ ඩාන්සිං මිස්‌ කියා ඇමතෙන එහි ප්‍රධාන උපදේශිකාවයි.

තවත් වරක්‌ මා තවත් සහායකයෙක්‌ සමග බොරැල්ලේ එරෝබික්‌ පන්තියකට ගියේ සුවඳ විළවුන් අලෙවි කරන ජංගම වෙළෙන්දන් දෙදෙනකුගේ වේශයෙනි. එතනත් සිටි බහුතරයක්‌ ශෝබනයට වැඩි කැමැත්තක්‌ දක්‌වන අලුතින් ධනවත් වූ නිව් රිච් පන්තියේ අය බව නිරීක්‍ෂණය කළෙමු. ඔවුන් අප මෝඩයන් ලෙසට අන්දා අපව බයිට්‌ කරන්නට පටන් ගත් අතර අපද ගොනා සහ තණකොළ ලෙස ගොන් පාට්‌ එකේම රැඳෙමින් කරුණු රැසක්‌ සොයා ගතිමු. එතැන සිටි අයගෙන් වැඩි දෙනෙක්‌ගේ විවාහ ජීවිතය අසාර්ථකව ගොස්‌ ඇත. තිදෙනකු=ගේ ස්‌වාමි පුරුෂයන් විදේශගතව රැකියා කරයි. අවිවාහක තරුණියන් කීප දෙනෙක්‌ සිටි අතර උන් නම් උන්ගේ පාඩුවේ සිටි බව දුටිමි.

වරක්‌ අපි ගමනක්‌ යද්දී පුතාට යෝගට්‌ එකක්‌ අරන් දෙනු පිණිස රේණුකා අසල ග්‍රොසරියකට ගිය අතර ඇය එනතෙක්‌ මා වාහනය නවතා රැඳී සිටියේ උත්සව ශාලාවක්‌ අභියස රථගාලකයි. මඳ වේලාවකින් එම ශාලාවේ සිට විවිධ වයස්‌ කාණ්‌ඩවලට අයත් ගැහැනුන් විසි තිස්‌ දෙනකු හෙමින් හෙමින් එළියට ඇදෙනු මම දිටිමි. මෙයද එරෝබික්‌ පන්තියකි. ඒ එළියට එන්නේ එරෝබික්‌ නටන සිසුවියන් බව මට තේරිණි. වැඩි දෙනෙක්‌ පැමිණ සිටියේ නෝ හස්‌බන්ඩ් ඩෝන්කෙයාර් හෙවත් පවුල් අවුල් වර්ගයේ ස්‌කූටර්වලිනි. ඔවුන් බොහෝ දෙනෙකු අත වතුර බෝතල්, තේ වතුර ෆ්ලාස්‌ක්‌ සහ කුඩා පැදුරුද තිබෙනවා දුටු අතර වැඩි දෙනෙක්‌ ගමන් කළේ කොර ගසමින් අමාරුවෙන් බවත් දැක්‌කෙමි. එරෝබික්‌ මුලදී මුලදී ටිකක්‌ අමාරු බව මට කීවේ නාරාහේන්පිට සෙව්වන්දිය.

නැවතත් ජිම් ගැන කතා කළොත් රජගෙදර සිට හිරගෙදර දක්‌වාත්, මුඩුක්‌කුවේ සිට තරුපහේ හෝටලය දක්‌වාත් ඒවා පිහිටා ඇත. ජනාධිපතිවරයා ෆිට්‌නස්‌ කරන්නේ අරලියගහ මන්දිරය තුළ ඇති ඔහුගේ පෞද්ගලික ජිම් එකේය. වැලිකඩ හිරගෙදර වැහෙන මරදානේ මුරාඩ්ලා, කිරුළපන සුදාලා, කොච්චිකඩේ සුන්දරම්ලා, ෆිට්‌නස්‌ කරන්නේ දෑතින් යකඩ කූරු අල්ලාගෙන දණහිසෙන් පහළට නැවෙමින් තෝප්පු ගසමිනි. ස්‌කොට්‌ කරනවා කියා ඉංග්‍රීයෙන් කියන ව්‍යායාමයට හිරගෙදර කියන්නේ කොත්තු ගහනවා හෙවත් තෝප්පු ගසනවා කියාය

කොළඹ හතේ කුරුඳුවත්තේ නෝනලා උදේට උදේට ස්‌පෝර්ට්‌ කිට්‌ ඇඳගෙන තුවායක්‌ කරේ දාගෙන පානීය ජලය බෝතලයක්‌ හෝ ෆ්රුට්‌ ජූස්‌ එකක්‌ අතේ තියාන් කිරි කිරි කාර් එකේ ෆිට්‌නස්‌වලට යන්නේ හිල්ටන් සිනමන් ලේක්‌ හෝ ගලධාරි එකේ ඉන්ඩෝ ජිම් එකකටය.

අපේ මිතුරු සෙවණේ පුනරුත්ථාපනය වන තරුණයන්ටද කුඩා ජිම් එකක්‌ තිබේ. නමුත් එහි ඇත්තේ මෙවලම් දෙකකි. එකක්‌ හදා ගෙන ඇත්තේ මෙගා සයිස්‌ හිස්‌ ප්ලාස්‌ටික්‌ කෝලා බෝතල් දෙකකට වැලි පුරවා යකඩ බටයක්‌ දෙපස එල්ලා ගැනීමෙනි. අනෙක හදා ගෙන ඇත්තේ පාරේ විසිකර තිබූ තීන්ත බාල්දි දෙකකට කොන්ක්‍රීSට්‌ පුරවා ගල් කරගෙන ඒවාද යකඩ බටයක්‌ දෙපැත්තේ එල්ලීමෙනි. නමුත් ඔවුන්ද චාර්ට්‌ එකකට අනුව ව්‍යායාම කර තම ගෙවී ගිය ඇඟ පත ක්‍රම ක්‍රමයෙන් යළි හදා ගන්නට උත්සාහ කරති. මෙසේ සෙල්ලම් කරන අයුරු දකින මොකටවත් නැති පජාති කුඩ්ඩෝ කියන්නේ වැඩක්‌ නැහැ ලොක්‌ක ඇතුලෙ ඉඳන් කොච්චර ඇඟ හදා ගත්තත් එළියට ගිය ගමන් එක ගිනිකූරට ඔය ඔක්‌කොම ආයෙ හුළං වගේ බහිනවා කියාය.

තම රූ සපුව ගැන සැලකිලිමත් වන උගත් සුන්දර, රූමත් තරුණ ඥාති දියණියන් දෙදෙනෙක්‌ මටත් සිටී. එකියක්‌ මදක්‌ පුෂ්ටිමත්ය. අනිකි ගොඩක්‌ හීන්දෑරිය. මේ දෙදෙනාද මෑතකදී ඔවුන්ටම හිතී හෝ කාගේ හෝ කීමකට ඔවුන්ගේ නිවසට ආසන්නයේ ඇති සමාජය පිළිගත් වැදගත් ෆිට්‌නස්‌ ජිම් එකකට ගිය බව මම දනිමි. එක්‌කෙනෙකුට අවශ්‍ය වූයේ ඇඟ මඳක්‌ ශේප් කර ගැනීමටයි අනිකාට ඇවැසි වූයේ මඳක්‌ මහත් වීමටයි. නමුත් අධ්‍යාපන කටයුතු සහ වෙනත් හේතු මත ඔවුන්ගේ ජිම් යැම සීමා වූයේ සති කිපයක්‌ පමණි. දෙන්නා තාම ඒ වගේමය.

ලංකාවේ ඇති දහස්‌ ගානක්‌ ව්‍යායාම මධ්‍යස්‌ථාන වලින් වැඩි ප්‍රමාණයක්‌ හොඳ පරිපාලනයක්‌ ඇතිව සියලුම පහසුකම් සහ අංගෝපාංග සහිත උසස්‌ මට්‌ටමේ ඒවාය. ඒ නිසා සියලුම ජිම්වලට දොස්‌ කීම හොඳ නැත. හොඳ ඒවා අගය කළ යුතුය. වැඩි වෙලා එකතැන වාඩිවී සිට ලිවීම පරිගණකය භාවිතය ආදි දේ නිසාද උදරය මහත් වී ඉක්‌මනටම ජිම් යැමට අපටද සිදුවන නිසා ලිවීම අදට මෙතැනිත් නවත්වමි.

මිත්‍ර ශ්‍රී කරුණානායක
mithrar®renuka@yahoo.com

Related Posts

0 comments:

Proudly Powered by Blogger.