ඇත්තටම මනාලිය විතර ද ලස්සනට ඉන්න ඕනෙ. එතකොට මනාලයා? මෙන්න මේ නිසයි අප මේ ගැන කතා කරන්නට සිතුවේ.
මනාලිය ගැන වගේම මනාලයා ගැනත් කතා කළ යුතු බව අප අමතක කළ යුතු නැහැ. මංගල දිනය තීරණය කරගත් දා සිටම මනාලියට සිතන්නට සූදානම් වෙන්නට මොන තරම් දේවල් තිබෙනවද? විශේෂයෙන්ම තම රුව ගැන ඇඳුම් පැලඳුම් ගැන හැඩගැන්වීම් ගැන මේ ආදී වශයෙන් බොහොමයක් දේ සඳහා ඇය සූදානම් විය යුතුයි.
රූපලාවණ්‍ය ශිල්පිනියගෙන් ඇයගේ රුව ලස්සන කරගන්නට කෙතරම් උපදෙස් ලැබෙනවද? ඒ විතරක් නෙවෙයි මනාලියගේ මංගල ඇඳුම් නිර්මාණය විලාසිතා ගැන හැඩගැන්වීම් ගැන ඇයට සියලු උපදෙස් ලැබෙන්නේ රූපලාවණ්‍ය ශිල්පිනියගෙන්.
මනාලියට මෙන්ම මනාලයට ද රූපලාවණ්‍ය උපදෙස් සහ මංගල දිනය සඳහා සූදානම් වන ආකාරය ගැන මඟ පෙන්වීමක් අවශ්‍යයි. මෙහිදී විශේෂයෙන් මතක තබාගත යුතු දෙයක් නම් මනාලිය මෙන්ම මනාලයා ද මංගල දිනයේ මනා පෞරුෂත්වයකින් හෙබි පි‍්‍රයමනාප පුද්ගලයකු විය යුතු බවයි. එදින මනාලිය සහ මනාලයා යන දෙදෙනාම කැපී පෙනෙන සුන්දරත්වයකින් සිටිය යුතුයි.
මනාලියගේ රුවෙහි අඩුපාඩු තිබෙන්නා හා සේම මනාලයගේ රුවෙහිද යම් යම් අඩුපාඩු තිබිය හැකියි. උදාහරණයක් වශයෙන් මුහුණේ කුරුලෑ, සමෙහි දුර්වර්ණවීම්, හිසකෙස් සම්බන්ධ ගැටලු ඔහුට ද තිබිය හැකියි.
මංගල දිනයට පෙර මෙම අඩුපාඩු සකස්කර ගැන්මට මෙන්ම රූපලාවණ්‍ය ශිල්පියා හමුවී තම දින චර්යාව ගැනත් අවශ්‍ය උපදෙස් ලබා ගැනීමටත් ඒ අනුව කටයුතු කිරීමටත් ඔහු ද සූදානම් විය යුතුයි. එහෙත් අද බොහෝ විට සිතන්නේ පිරිමින්ට එවන් දේ අනවශ්‍ය බවයි.
මනාලියගේ මංගල ඇඳුම් ගැන වැඩි සැලකිල්ලක් දක්වනවා. ඒ සියල්ලම තීරණය වෙන්නේ හැඩගැන්වීම් සිදුකරන රූපලාවණ්‍ය ශිල්පියා හෝ ශිල්පිනියගේ උපදෙස් අනුවයි.
මෙහිදී මනාලයගේ ඇඳුම් කට්ටලය ගැන ඔහුගේ විලාසිතාවන් ගැන එවන් අවධානයක් යොමු නොවෙයි. ඇතැම් විට මනාලිය තෝරා ගෙන තිබෙන විලාසිතාවට අනුව මනාලයාගේ ඇඳුම් කට්ටලය නො ගැළපෙන අවස්ථා තිබෙන්න පුළුවන්. සමහර ඇඳුම් ඔහුගේ පෙනුමට ශරීරයේ ස්වාභාවයට අනුව නො ගැළපෙන අවස්ථා තිබිය හැකියි.
මනාලයා සඳහා ඇඳුම් තෝරා ගැනීමේ දී ඔහුගේ උස මහත, සමේ වර්ණය, ඇඳුම්වල වර්ණය, උත්සවය පවත්වන්නේ උදේ ද, රාත්‍රී කාලයේ ද හැඩ වෙන්නේ උඩරට හෝ පහතරට ක්‍රමයට ද යන්න ගැන සොයා බැලිය යුතුයි.
සමහරුන් තම මංගල ඇඳුමට වෙනසක් කිරීමට සිතාගෙන වෙනත් කෙනෙක් නො කළ ආකාරයේ විලාසිතාවක් නිර්මාණය කරගන්නට උත්සාහ කරයි. තමුන් තෝරා ගන්නා විලාසිතාව කලක් ගියත් සදාකල් නො වෙනස් බවක් පෙන්වන ආකාරයේ එකක් විය යුතුය.
සමහර විලාසිතා අලුත් පිට මාසයක් දෙකක් යනතුරු ජනපි‍්‍රය වී තිබෙයි. ඉන්පසු කලක දී එය නැති වී යයි. සමහර කොණ්ඩා විලාසිතා වුවත් එහෙමයි. කලක දී එම විලාසිතාවේ ජනපි‍්‍රයත්වය නැතිව යයි. එය පසුව දකිද්දී යල්පැන ගිය විලාසිතාවක් වශයෙන් විකෘති වී පෙනෙන්නට පුළුවන්. ඉන් තමන්ගේ පෞරුෂත්වයට පවා හානි විය හැකියි.
දැන් විවිධ ආකාරයේ විවිධ රටවල විලාසිතාවන් පවා මංගල ඇඳුම් වශයෙන් නිර්මාණය කෙරෙයි. නමුත් හැමවිටම මනාලයා තෝරාගන්නා විලාසිතාව මනාලියගේ විලාසිතා සමඟ ගැළපිය යුතුයි.
නැතිනම් එහි නො ගැළපෙන බව මනාලිය සමඟ සිටීමේදී ඉස්මතු වී පෙනෙන්නට පුළුවන්. සමහර විලාසිතා තමුන්ගේ සිරුරේ ස්වභාවය අනුව නො ගැළපිය හැකියි. මේ නිසා තමන් තෝරාගනු ලබන ඇඳුම් විලාසිතාව තමාට ගැළපෙනවා ද නැද්ද යන්න ගැන විමසා බැලීම වැදගත්.
විලාසිතා කිරීම වරදක් නොවේ. නමුත් එය තමන්ගේ ගෞරවනීය බව රැක දෙන විලාසිතාවක් විය යුතුයි. සමහරවිට නිසි මඟ පෙන්වීමක් නොමැතිවීම හෝ නො දැනුවත්කම නිසා මනාලයා අනවශ්‍ය විලාසිතාවන්ට යාමට පුළුවන්.
මෙන්න මේ නිසයි ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පියකුගේ උපදෙස් ඔහුට අවශ්‍ය වන්නේ.
මනාලියට වගේම මනාලයාටත් ඔහුගේ ඇඳුම් පැලඳුම් තෝරා ගන්නට කිසියම් මඟ පෙන්වීමක් උපදෙසක් අවශ්‍යයි. සපත්තුවල සිට මෙය ක්‍රමවත්ව සිදුවිය යුතුයි.
විශේෂයෙන්ම මනාලිය මෙන්ම මනාලය ද මෙහිදී රූපලාවණ්‍ය ශිල්පියකුගේ සේවය ලබා ගන්නවා නම් එය ඉතා වැදගත්.
හොඳින් කැපෙන මනාල යුවළක් හැටියට මංගල අවස්ථාවට මුහුණදීමට හැකිවන්නේ එවිටයි. ඇය ලස්සන මනාලියක් වෙනවා නම් ඔහු ද ලස්සන මනාලයකු විය යුතුයි.




0 comments: