පැරණි දේහ ලක්ෂණ විද්‍යා පොත්වල දැක්වෙන පරිදි යමෙකුගේ අල්ල රෝස පැහැයෙන් යුක්ත වූයේ නම් ඉතාමත් වාසනාවන්තය. එවන් අය ප්‍රසන්න වූ පෙනුමකින්ද යුක්ත කරුණාව, දයාව ආදී යහපත් ගතිගුණ වලින් හෙබි, සතුටින් කල් ගෙවන වාසනාවන්ත විවාහ ජීවිතයකට ද හිමිකම් ලබයි.
යමෙකුගේ අත්ල කහ පාටින් යුක්ත වූයේ නම් හෙතෙම පිත්තාධික ශරීරයක් ඇත්තාවූද, නපුරු අශෝභන සිතිවිලිවලින් යුක්ත අයෙක් වෙයි. අන්‍යයන්ගේ දියුණුව නුරුස්සන මොවුන් දියුණුවීමට කෙතෙක් උත්සාහ කළත් පලක් නොවේ.
අත්ල සුදු පැහැයෙන් යුක්තවීමද, අශූභ ඵල දෙන්නකි. සමාජයෙන් ඈත්ව සිටීමට හැමවිටම උත්සාහ කරන මොවුන් වාසනා ගුණයෙන්ද, හීනය. අත්ලෙහි සම, ඇඟිලි, රේඛා ආදිය රතු පැහැයෙන් හෝ සුදු මිශ්‍රවූ රතු පැහැයෙන් යුක්ත වී නම් ධන ධාන්යදිය හිමිකර ගැනීමේ වාසනාව ලබයි.
ක්ෂණික කෝපසහගත සිත් ඇති අයෙකු වුවත් හෙතෙම බලවත් වූ සැපවත් ජීවිතයක් ගතකරයි. අතිශයින්ම ආත්මාර්ථකාමි වූ එමෙන්ම කපටි සහගත වූ අයගේ අත්ල කළු පැහැයෙන් යුක්ත වෙයි.
අනාගතයේ අසීමිතවූ දියුණුවක් ලැබේ යයි සිහින මවන, හැමවිටම මුසා බස් තෙපලන ඔවුන් තුළ ඇති හැකියාවන් සියල්ලමද අයහපතට යොදවයි. මොවුන් ඇසුරින් ඈත්කළ යුතු අය වේ.
අල්ල නිල්වන් පැහැයෙන් යුක්තවූයේ නම් මත්ද්‍රව්‍ය නිසා ජීවිතය මෙන්ම තම වස්තුවද විනාශ කර ගන්නා අයෙකු පෙන්නුම් කරයි. අඳුරු වර්ණයෙන් යුතු අල්ල පටු කල්පනා ශක්තියකින් යුතු අන්‍යයන් කෙරෙහි ඊර්ෂ්‍යා සහගත සිත් ඇති වාසනා ගුණයෙන් අඩු අය තුළ පිහිටයි.
අත්ල මස් සහිතව සමතලා ලෙස පිහිටා ඇත්නම් ත්‍යාගශීලී බව පෙන්නුම් කරයි. අල්ල තුනීනම් දෙමාපියන්ගෙන් ලැඛෙන උරුමයන්ට හිමිකම් නොලබයි.
අල්ල නොගැඹුරු ලෙස වටකුරුව ඇත්තේ නම් එම උරුම හිමි අයෙකු වේ.
පිළිවෙළකට නොමැති අල්ල හිමි අයගේ ජීවිතය වාසනාවන්ත නොවේ. විවාහ ජීවිතයද අසාර්ථක වනු ඇත.
මොලොක් ගතියෙන් යුත් මදක් රතු පැහැති ලස්සන අල්ලක් පිහිටන්නේ සුපින්වත් ලලනාවන්ටය. ලද බොළඳ හා ආචාරශීලී හැසිරීම් විලාශ ඇති ඇය සැබැවින්ම කාරුණික බවින් යුක්තය.
පියුමක් මෙන් මොලොක් ලස්සන අල්ලක් ඇති ස්ත්‍රිය කාම සම්පත් වර්ධනය කරන බව සඳහන් කර ඇත.
නහරවැල් ඉලිප්පුන රළු අල්ල අශුභ ඵල දෙයි. නපුරු ස්ත්‍රීන් වෙත මෙවැනි සලකුණු දැකිය හැක.
හැමවිටම තෙත් ගතියෙන් යුතු අල්ලක් ඇති අය උසස් නායකත්වයකින් යුතුවෙයි. නමුත් ඔවුන් කුමන තරාතිරමක සිටියත් නොසංසිඳෙන ආශාවන් ඇති අය බව ඔප්පු වී ඇත.
හතරැස් හැඩයෙන් යුත් අල්ල දියුණු මනසකට හිමිකම් කියයි. එවැනි අය හිතන්නේත්, කතා කරන්නේත්, තර්කානුකූලවයි. බොහෝ විට නීතිඥයන්ට මෙවැනි ආකාරයේ අතුල් තල පිහිටා ඇති බව දැකිය හැක.
පැහැපත් සමකින් හා මෘදු මාංශ පේශීන්ගෙන් පිරුණු අත්ලෙන් කලාකාමීත්වය පෙන්නුම් කරයි. විසිතුරු දේවල් කෙරෙහි දැඩි ලැදියාවක් දක්වන ඔවුන් සමාජයේ කා අතරත් ජනප්‍රිය අය වෙති.
කෝණාකාර හැඩයෙන් යුත් අල්ල ඇත්තා බුද්ධිමත් පුද්ගලයෙකු වෙයි. අන් අය යටතේ සේවයෙහි යෙදෙන බුද්ධියෙන් හීන අයගේ අල්ල ගොරෝසු බවක් පෙන්වයි.
අත්ලෙහි ඇඟිලි එක්කළ විට සිදුරක් නොපෙනෙන ලෙස මනාව එක්ව පිහිටියේ නම් එයද වාසනාවන්ත ලක්ෂණයක් ලෙස භාරතීය සාමුද්‍රික ශාස්ත්‍රය අනුව සැලකේ. එවැනි අය වාසනා ගුණයෙන් පරිපූර්ණ වූ එමෙන්ම ශිල්ප ශාස්ත්‍ර, නැණ නුවණ ආදියෙන් බහුශ්‍රැත බවත්, සියලු සම්පතින් ආඪ්‍යවන බවද කියවේ.
ස්පර්ශ කළවිට උණුසුමක් දැනෙන අල්ලද ශුභදායක වෙයි. එවැනි අල්ලක් පිහිටන්නේ මෘදු සිතිවිලි සහිත අන්‍යයන් කෙරෙහි කරුණාව, මෛත්‍රිය දක්වන, දියුණු වීමේ වාසනා ගුණයක් ඇති පින්වත් දරුවන් හිමිවන අයට ය.
අත්ලක් විශාල ලෙස පිහිටියහොත් එය දුර්වල ආධ්‍යාත්මික ලක්ෂණ ප්‍රකට කෙරේ. අත්ලක් ප්‍රමාණයට වඩා කුඩාවීම බුද්ධිහීන මන්දායුෂ පෙන්නුම් කරන අවාසනාවන්ත ලකුණක් වෙයි.
ඉතාමත් තද ගතියෙන් යුතු ගොරෝසු අල්ලක් හිමි තැනැත්තා ඉතාමත් නපුරු, දුෂ්ට ගතිගුණ පෙන්නුම් කරයි. උණුවන හදවතක් නොමැති ඔවුන් ඇතැම් අවස්ථාවල තිරිසනුන් මෙන් ක්‍රියාකරයි.
කිසියම් අයෙකුගේ අල්ලෙහි නෙළුම්මල්, මත්ස්‍ය, කොඩි, පුන්කළස්, සේසත්, වටාපත්, වී ඇට, අශ්වරූප, අලිරූප ආදී ලකුණු පිහිටීම රජවීමට පවා හේතුවන බව ශ්‍රී කේශව බ්‍රාහ්මණ පඬිවරයා විසින් ලියා ඇති ග්‍රන්ථයක සඳහන් වෙයි.
අත්ලෙහි උපන් ලප පිහිටීමද වාසනාව ගෙනදෙන ලක්ෂණයක් වේ. එමගින් ප්‍රතිපත්තිගරුක පුද්ගලයෙක් හඳුන්වාදෙයි. දකුණු අල්ලේ තලකැලලක් පිහිටීම පිරිමියෙකුට නම් සුබ නොවේ. එය වස්තු විනාශයට හේතුවක් ලෙස පැවසේ.
යමෙකුගේ අල්ලේ දකුණට කරකැවී ගිය සුලියක් පිහිටියේනම් හෙතෙම ධාර්මික අයෙකු බවත් උස් වූ අල්ලක් ඇත්තා පරිත්‍යාගශීලී ගුණයෙන් පිරිපුන් අයෙකු බවද සමුද්‍ර සෘෂිවරු විසින් ප්‍රකාශ කර ඇත.
































































                    
                  




































0 comments: