Thursday, November 13, 2014

ජාතික බලවේග තුල සිටින බත් බැලයන් පරදන්න මහා ෆේස්බුක් හමුදාවක්..

by Api Nodanna Live  |  in Sri Lanka at  10:39 AM

එදා ෆොන්සේකා වෙතින් ඉටුකර ගන්න හදපු අරමුණ අද ජාතික බලවේග තුළ සිටින බත් බැලයන් වෙතින් ඉටුකර ගන්න රටට හතුරු බලමුළු උත්සාහ කරනවා

2010 ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කොට ඉටු කරගත් අරමුණ 2015 ජනාධිපතිවරණයේදී ජාතික බලවේග තුළ සිටින බත් බැලයන් වෙතින් ඉටු කරවා ගැනීමට රටට සතුරු බලමුළු උත්සාහ ගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී ‘රට ආපස්සට අදින පරගැති මෙහෙයුම් පරදවමු’ යන තේමාව යටතේ පැවැති ජාතික සංවිධාන එකමුතුවේ විශේෂ ජාතික සමුළුවේ ආරාධිත දේශනයක් පවත්වමින් විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.
එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.
‘මේ පින්බිමට අභියෝගයක් ආපු සෑම වේලාවකම මහා සංඝරත්නයේ පුරෝගාමීත්වයෙන් දේශමාමක පිරිස් ඒවා ජය ගැනීමට අත්වැල් බැඳ ගනු ලැබුවා. කොටි ත‍්‍රස්තවාදය රජ කරනු ලැබූ මොහොතක ඔවුන්ගේ මරණ තර්ජනවලට බිය නොවී මහා සංඝරත්නයේ අනුහස් බලයෙන් කොටි පැරදවීම සඳහා මේ රටේ ජනතාව පෙළගැස්වීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කරනු ලැබුවේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ප‍්‍රමුඛ ජාතික සංවිධාන එකමුතුවයි. ඒ වෙනුවෙන් වූ පළමු පියවර ලෙස 2005 ජනවරම නිර්මාණය කිරීම සඳහාත් ජාතික සංවිධාන එකමුතුව පුරෝගාමී මෙහෙවරක් ඉටු කරනු ලැබුවා.
මේ පින්බිමට අභියෝග එන්නේ කොතැනින්ද? ඒ කවර තැනකින් ආවත් ඒවාට නොබියව, එඩිතරව මුහුණ දී ඒවා ජය ගැනීමට අපි සූදානම් බව කීමටයි, මේ විශේෂ ජාතික සමුළුව අද සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණය එකම හිස් ගොඩක් බවට පත් වෙමින් මේ විදියට මුළු දෙන්නේ.
නැවතත් මේ පුදබිම අපෙන් දැවැන්ත සමගිසම්පන්න භාවිතාව, එකමුතුව ඉල්ලා සිටිනවා. ජාතිය බිල්ලට ගැනීමට වෙනදා නොතිබුණු පරස්පර භාවිතාවෙන් යුතු මහා කලවම් සන්ධාන හැදෙන මොහොතක ඒවායේ හතුරු අරමුණු පරදවලා රටට ජයග‍්‍රහණ ගෙන ඒමට 2005 දී මෙන්ම අදත් අපි පෙරමුණ ගත යුතුව තිබෙනවා. මහා සංඝරත්නය ප‍්‍රමුඛ ජාතික සංවිධාන එකමුතුව දිනේෂ් ගුණවර්ධන, චම්පික රණවක යන අමාත්‍යවරුන්ට වගේම අපටත් මේ වේදිකාවට ඇරයුම් කළේ ඇයි? අපි ජාතික බලවේගවල නියෝජිතයො නම්, රටට, දැයට සතුරු බලවේග පරද්දන්න අපව කැඳවන්න මේ ජාතික සංවිධාන එකමුතුවේ මහා සංඝරත්නය ප‍්‍රමුඛ ජාතික බලවේගවලට අනිවාර්ය යුතුකමක්, වගකීමක් තිබෙනවා. මේ ගෞරවනීය පූජනීය මහා සංඝරත්නය ඒ වගකීම ඉටු කළා. ඒ අනුව අපි මේ වේදිකාවට ආවා.
අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේලා ඉතාමත් මැනවින්, නිරවුල්ව පැහැදිලි කළා, ‘මේ රට හමුවේ අද තිබෙන්නේ කවරාකාරයක අභියෝගයක්ද?’ කියා. එදා යුද්ධය දිනලා සතිය යන්න කලින් සතුරු බලමුළුවලට පුළුවන් වුණා, යුද්ධය දිනපු සේනාධිනායකයාට විරුද්ධව යුද හමුදාපතිව අනෙක් පැත්තට ගන්න. අද යුද්ධය දිනලා අවුරුදු 05කට පස්සේ ඒ සතුරු බලමුළුවලට තව තව අය බිලි බා ගන්න බැරි ඇයි? එදා යුද්ධයට නායකත්වය දුන් මහින්ද රාජපක්‍ෂ සේනාධිනායකයාට විරුද්ධව ත‍්‍රිවිද හමුදාවේ එක් හමුදාවක නායකයා වූ සරත් ෆොන්සේකා මහත්තයාව යුද්ධය දිනලා සතියෙන් දෙකෙන් නොගැළපෙන ක‍්‍රියාමාර්ගවලට යොමු කරලා ඔහු දේශපාලන වශයෙනුත් චරිතයක් විදියටත් නැති බංගස්ථාන කළේ කවුද? එදා වගේම, කැලේ ගහක් නසන්න තවත් කැලේ ගසක් යොදා ගන්න, ඌරාගෙ මාලූ ඌරාගේ ඇෙග් තියලාම කපන්න අදත් මේ සතුරු බලමුළු උත්සාහ කරනවා. ඔවුන් හිතනවා 2010 දී බැරි වුණු අරමුණ 2015 දී ඉටුකර ගන්න. ‘2010 දී බැරිවුණේ යුද ජයග‍්‍රහණයට කිට්ටු නිසයි. නමුත් දැන් යුද ජයග‍්‍රහණ සිදු වෙලා වසර 05යි. දැන් මේ ජාතියට ඒ ජයග‍්‍රහණය අමතකයි’ කියලා මේ සතුරු බලමුළු හිතනවා. මේ තක්කඩි විපක්‍ෂයේ ගොබිලො හිතන්නේ, ‘අපේ රටේ ජනතාවට වැඩිම වටිනාකම තියෙන දේත් අවුරුදු 05යි මතක තියෙන්නේ’ කියලා. එහෙම නම් තමුන්ගේ ඉපදීම පිළිබඳ මතකයත් අවුරුදු 05න් අමතක වෙන්න  ඕනෙ. මේ රටට එරෙහිව අවමන් කරන්න දෙන්න බැහැ.
රටට සතුරු රාජ්‍ය නොවන කල්ලිවල දේශපාලන න්‍යාය පත‍්‍රය, විදේශ බලවේගවල දේශපාලන න්‍යාය පත‍්‍රය, තානාපති කාර්යාල තුන හතරක දේශපාලන න්‍යාය පත‍්‍රය, කොටි ඩයස්පෝරාවේ දේශපාලන න්‍යාය පත‍්‍රය හා දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන න්‍යාය පත‍්‍රය ජාතික බලවේග වෙතින්ම ඉටුකර ගන්න බත් බැලයෝ එකතු කර ගන්න ඔවුන් අදත් බලනවා.
‘බත් බැලයන්ගේ මහා පාවාදීමේ පෙරමුණ’
එදා ෆොන්සේකා මහතා මගින් ඉටුකර ගන්න හදපු දේ අද බලනවා, ‘ජාතික බලවේග ඇතුළින් මහා පාවාදීමේ පෙරමුණක් හදලා ඉටුකර ගන්න පුළුවන්ද?’ කියලා. සැබෑ ජාතික බලවේගවල නියෝජිතයො ඒ උගුලට හසු වෙන්නේ නැහැ. නමුත් ජාතික බලවේග තුළ හිටපු බත් බැලයො මොකටද මේ එකතුවෙන්නේ? 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමටද, මේ එකතු වෙන්නේ? පොලිස් බලතල, ඉඩම් බලතල ඇතුළු බෙදුම්වාදී බලතල අහෝසි කරන්නද මේ එකතු වෙන්නේ? එහෙම නම් අපටත් කියන්න, අපිත් එනවා.
ගෝලීය ද්‍රවිඩ සංසදයේ එමානුවෙල් පියතුමාට, දේශසීමා නොමැති දෙමළ ඊළාම් ‘සිහින රාජ්‍යයේ’ රුද්‍රකුමාරන් නීතිඥයාට, කොටි ඩයස්පෝරාවට ප‍්‍රශ්නයක් නැහැ. 13 ගැන කතා නොකර, කවර ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතා කළත්. ඇයි මේ 13 මග හරින්නේ? ‘සොරෙක් තමන් සගවන ලද දේ තිබෙන ප‍්‍රදේශයෙන් ඒ දෙස නොබලා සින්දුවක් කියමින් යනවා’ වගේ, 13 ම`ග හැරලා මොකක්ද ජාතික බලවේගවලට යන්න පුළුවන් ගමන? අඩු තරමින් 13ට අත තියන, ඒකේ අ`ඩුවක් දෙකක් ගලවන න්‍යාය පත‍්‍රයක් මේ අයට තිබෙනවාද? මේ අය, පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව දාන්න හදනවා ‘ගරාජ් එකකට’. ‘එන්ජිමේ නට් එකක්’ ගලවලා අලූත් එකක් දාලා, රෝදයක හුළං බැහැලා නම් හුළං ටිකක් ගහලා මේ ව්‍යවස්ථාව නැමැති වාහනය රෙපයාර් කරලා ආයෙත් පාරට දාන්නයි මේ අය හදන්නෙ. 1977 හදපු මේ කාබාසිනියා වුණු ව්‍යවස්ථාව රෙපයාර් කරලා ආයෙත් ක‍්‍රියාත්මක කරවන්නයි මේ අය හදන්නේ. මේ මොහොතේ ජාතික බලවේගවල සටන් පාඨය විය යුත්තේ ඒකද?
ජාතික බලවේග දිගින් දිගටම පෙනී සිටියේ බෙදුම්වාදයට පණ දුන්නු, ජාතියේ ඉදිරි ගමනට වල කපපු මේ ව්‍යවස්ථා මර උගුලෙන් රට බේරා ගැනීමටයි. අද මේ ‘එන්. ජී.  ඕ. කුක්කො ටික’ එකට එකතු වෙලා ඉන්නේ ඒක කරන්නද? නැහැ. කට්ටියක් කියනවා විධායක ජනාධිපති ක‍්‍රමය රෙපයාර් කරන්නලූ. තවත් කට්ටියක් කියනවා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්නලූ. නමුත් මෙතැන තියෙන ඇත්ත කතාව ඒක නොවෙයි. යුද්ධය දිනලා, රටට සාමය ගෙනල්ලා, වැටිලා තිබුණු අමාරු වලෙන් ගොඩ අරගෙන, විදේශ බලවේගයන්වල න්‍යාය පත‍්‍රයන්වලට රට ගිලගන්න නොදී ඉදිරියට අරගෙන ආපු මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට වඩා හොඳ දියසේන කුමාරයෙක් දැන් පහළ වෙලාද? එදා යුද්ධය කරන කාලේ නොහිටපු අපි නොදන්න දියසේන කුමාරයකු අද පහළ වෙලාවත්ද? රනිල්ගේ සාම පාවාදීමට එරෙහි දියසේන කෙනකු පහළ වෙලාද? එහෙම නම් කියන්න අපිත් එන්නම්.
මේ කාගෙ අමාරුවකටද, බෙහෙත් දෙන්න හදන්නේ? මේක රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ අමාරුව. එදා 2010 දී ෆොන්සේකා මහත්තයා බිලි දුන්නේ කාගෙ අමාරුවකටද? වික‍්‍රමසිංහ මහත්තයාගෙ අමාරුවට. 2010 දී රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරණයට ඉල්ලූවා නම් එයාගේ පක්‍ෂ නායකත්වය වගේම විපක්‍ෂ නායකකමත් ඉතිරි වෙන්නේ නැහැ. දාලා යන්න වෙනවා. ‘නොවෙන ජනාධිපති කෙනෙක් වෙනවාට වඩා, පක්‍ෂ නායකත්වය හා විපක්‍ෂ නායකකම රැක ගන්න එක හොඳයි’ කියලයි එදා රනිල් හිතුවේ. රනිල් එදා ෆොන්සේකාව තරගයට දාලා එයාව පරද්දන්න  ඕනෙ වන පොඩි පොඩි දේවල් අනෙක් පැත්තට එව්වා. එදා 2010 දී ෆොන්සේකා ආවේ රට බේරාගන්නද? නැහැ. රනිල් බේරා ගන්න. ඇත්ත කතාව ඒක.
2010ට පෙර මේ රටේ පැවැති, ජනාධිපතිවරණවලට තරග වැදුණේ කවුද? රටේ ප‍්‍රධාන පක්‍ෂ දෙකේ නායකයො දෙන්නාම ආවා. සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ප‍්‍රජා අයිතිය අහෝසි වූ අවස්ථාවේ පමණක් හෙක්ටර් කොබ්බෑකඩුව මහත්තයා ආවා. එදත් කොබ්බෑකඩුව මහත්තයා දිනනවාට මැතිනිය කැමති වුණේ නැහැනේ. එදා මොකද වුණේ කියලා අපි දන්නවානේ. කොබ්බෑකඩුව මහත්තයා දිනුවා නම් මැතිනියගේ නායකත්වයට තට්ටු වෙනවානේ. බලන්න, ඒ විතරක් නොවෙයි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දෙවතාවක් ඉල්ලලා, එදා අගමැති මහින්ද රාජපක්‍ෂ මහත්තයාට ජනාධිපතිවරණයට ඉල්ලන්න දුන්නේ කැමැත්තෙන්ද? මහින්ද රාජපක්‍ෂ දිනවන්න එදා එක පත‍්‍රිකාවක් ගහලා බෙදා හැරියේ නැහැ. පක්‍ෂිකයන් බොහෝ දෙනකු අකර්මන්‍ය කළා. එහෙම වෙලාවක හැර ජනාධිපතිවරණයට ආවේ ප‍්‍රධාන පක්‍ෂ දෙකේ නායකයො දෙන්නා. අද මොකද වෙලා තියෙන්නේ?
රනිල්ගේ ‘බැරිබැරියාවට’ ප‍්‍රතිකර්මය
දැන් විපක්‍ෂයේ ප‍්‍රධාන පක්‍ෂය, එක්සත් ජාතික පක්‍ෂය. එහි නායකයා රනිල් වික‍්‍රමසිංහ. වික‍්‍රමසිංහ මහත්තයාට පක්‍ෂ නායකත්වය දාලා යන්න හිතක් නැහැ. ජනාධිපතිවරණයට ඉල්ලලා පැරදුණොත් දාලා යන්න වෙනවා ඔක්කොම. 2010 දී ඉල්ලන්න බයයි, ෆොන්සේකා දාලා බේරුණා. 2015 දීත් ඉල්ලන්න බයයි. රනිල්ට ආසයි, බයයි දෙකම තියෙනවා. ආසයි, විපක්‍ෂ නායකකම සහ පක්‍ෂ නායකකම රැක ගන්න. බයයි, ඉල්ලලා පැරදුනොත් ඒ දෙකම නැතිවෙයි කියලා. ඒ නිසා දානවා පොදු අපේක්‍ෂකයෙක්. රනිල් දානවාද, දිනන්න පුළුවන් පොදු අපේක්‍ෂකයෙක්. රනිල්ගේ මනස දෙසට යොමු වෙලා බැලූවොත්, එයා විපක්‍ෂනායකකම හා පක්‍ෂ නායකකම තියාගෙන, අල්ලාගෙන ඉන්න මේ ඉඳිල්ලට දිනන පොදු අපේක්‍ෂකයෙක් දාන්නේ නැහැ. එදා සේනාධිනායකයා සමග දැම්මා හිටපු හමුදාපතිවරයෙක්. එයා දිනන අපේක්‍ෂකයෙක් නොවන හින්දා ‘ඉල්ලන්න, ෆොනී’ කියලා දැම්මා.
අදත් රනිල් දාන්නේ දිනන්න බැරි පොදු අපේක්‍ෂකයෙක්. රනිල් ‘හීරෝ’ වෙන්න බැරි වුණත් ‘සීරෝ’ වෙන්න කැමති වෙන්නේ නැහැ. ඒක තමයි රනිල්ගේ ලෝකය. එහෙම නම් අද පොදු අපේක්‍ෂකයා කියන්නෙත් දිනන්න බැරි කෙනෙක්. මේ හොයන්නේ දියසේන කුමාරයාද? නැහැ, අද සොයන්නෙත් වික‍්‍රමසිංහගේ ‘බැරිබැරියාවට’ තාවකාලික ප‍්‍රතිකර්මයක්. මේක අවස්ථාවාදී රංචු ගැසීමක් මිස ජාතික අභිලාෂයන් ඉටු කිරීම වෙනුවෙන් එකමුතුවීමක් නොවෙයි. එහෙම රනිල්ගේ ලෙඩකට දෙන ප‍්‍රතිකර්මය, රනිල්ගේ ‘බැරිබැරියාවට’ දෙන ප‍්‍රතිකර්මයට තමයි පොදු අපේක්‍ෂකයා කියන්නේ.
ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු නම් ඒ ‘බැරිබැරියාවට’ එන අපේක්‍ෂකයාට උදව් වෙන්න ක‍්‍රමයක් හදා ගෙන තිබෙනවා. ඒ ගොල්ලන්ගෙන් අපේක්‍ෂකයකු දැම්මොත් ආණ්ඩු විරෝධී ඡුන්දවලින් කොටසක් එයාට එනවා. එහෙම වුණොත් මේ දාන පොදු අපේක්‍ෂකයාට පාඩු වෙනවා. පාඩු වෙන හින්දා ඒගොල්ලො ඉල්ලන්නෙ නැතිව ඉන්න  ඕනෙ. ඉල්ලන්නෙ නැතිව ඉන්න නිකං බැහැ. ඒකට හොඳ න්‍යායක් තියෙන්න  ඕනෙ. න්‍යායක් හදා ගන්න නිකං බැහැ. ඒකට නීතියක් හදන්න  ඕනෙ. නීතියක් හදන්න නිකං කෙනකුට බැහැ. ඒකට හිටපු අගවිනිසුරු කෙනෙක්  ඕනෙ. ‘නීතිය ඇට නැති දිව බවට පත් කරගත්තු’ අත්දැකීම් තියෙන කෙනෙක්  ඕනෙ. එහෙම කෙනකුගෙන් උපදේශයක් ලබා ගත්තොත් මේ මොහොත පහුකර ගන්න පුළුවන්.
‘ෆේස්බුක් ජනාධිපතිගෙ හුළං බහිනවා’
ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු ‘මහින්දට තුන් වරක් බැහැ’ කියන තර්කය ගෙන එන්නේ වෙන මොකටවත් නොවෙයි, ඔවුන්ට ජනාධිපතිවරණයට ඉල්ලන්න බැරි හින්දයි. ඉල්ලන්නෙ නැතිව ඉන්න තර්කයක් හදා ගන්නවා මිසක් එතැන නීතිමය තර්කයක් නැහැ. ‘වික‍්‍රමසිංහටත් වඩා දුර්වල, වික‍්‍රමසිංහ වෙනුවට දාන පොදු අපේක්‍ෂකයා දෙසට තමන්ගේ අර වාමාංශික, විප්ලවවාදී ඡන්දදායකයන්ගේ ඡුන්ද ටික හරවන්නේ කොහොමද?’ කියන ප‍්‍රශ්නයි ජවිපෙට තියෙන්නේ. හරවන්න ඇති එකම ක‍්‍රමය, ‘ජනාධිපතිවරණය නීතිවිරෝධීය. අපි එයට එකතු නොවෙමු’ කියා මගහැර සිටීමයි, ඒත් අපට ආරංචියි, ජවිපෙ තුළ භාගෙට භාගයක් ජනාධිපතිවරණයට ඉල්ලන්න  ඕනෙ කියන මතයේ සිටින බව. ඒ මතය ජයග‍්‍රහණය කළොත් ඔවුන් ජනාධිපතිවරණයට ඉල්ලයි. නමුත් ජවිපෙ නායකයාගේ මතය ම`ග හැර යාම.
මේ ‘මහින්දට තුන්වරක් බැහැ’ නොවෙයි ‘අනුරට එක පාරක්වත් බැහැ’ කියන එක. ඒක තමයි ඇත්ත කතාව. එයා බයයි. එයා තමයි යෝජනා කරන්නේ ‘අපි මේක වර්ජනය කරමු’ කියලා. ලාල්කාන්ත සහෝදරයා ඇතුළු පිරිස කියනවා, ‘නැහැ ඉල්ලන්න  ඕනෙ’ කියලා. ඒ අස්සේ එජාපයත් කියනවා, ‘අනුර සහෝදරයා කොහොමහරි වර්ජනය කරන ලයින් එක අරගෙන යන්න’ කියලා. හිතමිතුරු තානාපති කාර්යාලවලිනුත් කියනවා ‘අනුර මල්ලී, ඔයාට නායකත්වය අරගෙන දෙන්න අපි කොයිතරම් ගේම් ගැහුවාද? ඒක හින්දා මේ වෙලාවෙ මේ උදව්ව කරන්න’ කියලා. දැන් අනුර දිසානායක බලනවා ජවිපෙ ඒ මතයට අරගෙන එන්න. තව පිරිසක් ඇතුළෙ ඒකට විරුද්ධව ගෝරි කරනවා. ඒක ජවිපෙ තුන් වැනි ගෝරිය. ඒ නිසා මේ, ‘මහින්දට තුන්වරක් බැහැ’ නොවෙයි ‘අනුරට මේ වෙලාවෙ ඉල්ලලා නෝන්ඩි වෙන්න බැහැ’ කියන එකයි. මේ සියලූ දේවල් ‘බැරිබැරියාවට’ ගෙනෙන ප‍්‍රතිකර්ම. අනුර දිසානායක ඉල්ලලා ඡුන්ද ලක්‍ෂයක් දෙකක් ගත්තොත් ජවිපෙ අලූත් නායකයාගෙ හෙවත් ‘ෆේස්බුක් ජනාධිපතිගෙ’ හුළං බහිනවා.
මේ සියල්ල ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙන් රැගෙන එන තර්කද? 13 ගැන කට අරිනවාද? ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ අලූත් කොමසාරිස්වරයා රටට විරුද්ධ බරපතළ ප‍්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඒත් ඔය මොන විරුද්ධ පක්‍ෂයේ කටද ඇරුණේ? මේ සතුරු පෙළගැස්ම දිහා බලන්න. ‘කැටයම් කරපු වචන’ මුදා හරිනවා. වෛරය මුදා හරිනවා. ඒ සියලූ උපායඋපක‍්‍රම තුළ තිබෙන්නෙ අවස්ථාවාදී ආකාරයට මේ මොහොත ගෙවා ගැනීම පමණයි.
USAID එකෙන් පඩි කන 5000ක්’
එදා රාජසිංහ රජ්ජුරුවන්ව එළවා ගන්න සුද්දාට  ඕනෙ වුණා. එත් බැරි වුණා. පසුව උඩරට ප‍්‍රභූ පැළැන්තිය කොටවලා, බිඳවලා රජතුමා සහ මහා සගරුවන අතර භේද හදවලා අසමගිය වපුරලා තමයි, කර ගන්න බැරි වූ දෙය කර ගත්තේ. ඒ විදියට එදා තිබුණු ‘සිංහලේ’ අතට ගත්තු සුද්දො, ඔවුන්ට  ඕනෙ විදියට හදපු ‘ශ‍්‍රී ලංකාවක්’ අපට දීලා ගියා. ධර්මපාලතුමන් ඇතුළු ජාතික ව්‍යාපාරය ඊට එරෙහිව සටන කුළුගන්වලා ගෙනාවා. ඒක සුද්දා මැඩපැවැත්වූවා. ඒකටත් සුද්දා මේ රටේ හිටපු කළු සුද්දන්ගේ උදව් ලබා ගත්තා. හැමදාම ජාතික ව්‍යාපාරයට පහර එල්ල කළේ ඇතුළෙ ඉන්න ද්‍රෝහී නඩය පාවිච්චි කරලා. අවසන් රාජධානිය සුද්දාට බිලි දුන්නෙත් එවැනි ද්‍රෝහී නඩයක් පාවිච්චි කරලා.
එදා ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා ගැනත් විවිධාකාර කතා ජෝන් ඩොයිලිලා ප‍්‍රචාරය කළා. ‘රාජසිංහ රජ්ජුරුවො බීලා වැඩිවෙලා දළදා මාලිගාව ඉදිරිපිට රට්ටු මරලා බිලි දෙනවා’ කියලා කතා යැව්වා. රාජසිංහ රජ්ජුරුවො උදහස් වෙලා කරපු ඝාතනයක් හින්දා මද්දුම බණ්ඩාර කුමාරයා ගැන කතාව අපේ ඉතිහාස පොතටත් ගෙනාවා. නමුත් සුද්දො එදා අපේ කොලූ ගැටවුන්ගේ බෙලි කපලා ඒවා කඩු තෝමර උඩ තියලා පෙති පෙති කපලා තමන්ගේ ‘ම්ලේච්ඡ ගම්පාළු ප‍්‍රතිපත්තිය’ අනුගමනය කරපු ආකාරය අපේ ඉතිහාසය පොතට ආවේ නැහැ. ඒ ආකාරයට සුද්දාගෙ කෲරත්වය යට ගහලා සිංහලේ අවසන් රජුට නොතිබුණු කෲරත්වයක් ආරෝපණය කළා. අදත් ඒ වගේ සයිබර් අවකාශයේ බොරු බේගල් පැල කරනවා. ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය USAID එකෙන් සල්ලි ගෙවලා 5000ක් බඳවා ගෙන තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ගෙන් නම් ඉල්ලාගෙන තරුණයො 5000ක් ඔවුන් සිටින තැන්වල සිට සමාජ වෙබ් අඩවි ජාලවල ආණ්ඩු විරෝධී මතය රැගෙන යනවා. ජාතික බලවේගවලට පහර දීමේ මෙහෙයුම සිදු කරනවා. ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ පඩි කන 5000කට, ඒ ජාතික බලවේගවලට එරෙහි මතය රැගෙන යාමට ඉඩ නොදී ඊට එරෙහිව අපි ස්වේච්ඡ බලඇණියක් බවට පත් වෙමු. අද පටන් මේ මහා සගරුවනේ ඇතුළු ජාතික බලවේගයන්හි මතය සමාජ වෙබ් අඩවි ජාල තුළට රැගෙන යෑම වෙනුවෙන් කැපවෙමු. එහෙම නොවුණොත් USAID එකෙන් පඩි ගන්න 5000, සමාජ වෙබ් අඩවි තුළ පැල කරන මතය රටේ මතය බවට පත් වීම වැළැක්වීමට බැරි වෙනවා.
මේක ඉතාමත් තීරණාත්මක වෙලාවක්. සිවාජිලිංගම්ලා, රුද්‍රකුමාරන්ලා, එමානුවෙල් පියතුමන්ලා, ඇතුළු දෙමළ ඩයස්පෝරාව බලා ඉන්නේ තමන්ට නැටවිය හැකි රූකඩ ආණ්ඩුවක් හදා ගන්න. එදා වික‍්‍රමසිංහ මහත්තයා නටවලා සටන් විරාම ගිවිසුම් ගස්සවලා ජාතිය පාවා දුන්නා වගේ රණවිරුවො දිවිපුදලා බේරාගත්තු මේ වන්දනීය, පූජනීය මාතෘභූමිය ගිල ගන්න ඉහත කී න`ඩය කැස කවනවා.
‘විපක්‍ෂයේ මණි බඩු දේශපාලනය’
වාමාංශික කැටයම්, දක්‍ෂිණාංශික කැටයම්, ජාතිකවාදී කැටයම් ආදී කැටයම් කළ වචනවලින් තමයි කුමන්ත‍්‍රණය එන්නේ, හරියට අර ‘මණි බඩුකාරයා’ වගේ. ගමට මණි බඩු කාරයා ආවම ගමේ ගෑණු දරුවො ටික ඔක්කොම වට වෙනවා. රත්තරං කියලා හිත හිතා අර දිලිසෙන බඩු ටික ඔක්කොම ගන්නවා. මණි බඩුකාරයා ගිහිල්ලා මාසයයි, අර බඩුවල දිස්නෙ යනවා. එතකොට මණි බඩුකාරයාගෙ දෙමව්පියන් මතක් කරනවා. අද ‘මණි බඩු දේශපාලනයක්’ තමයි විපක්‍ෂය සිදු කරන්නෙ. දිලිසෙන වචන අරගෙන කරන මේ ‘මණි බඩු දේශපාලනයේ දිස්නය’ තියෙන්නෙත් මාසයක් පමණයි. ජාතිය රැවටීමේ අන්තයට රැගෙන යාමට ඉඩ නොදී, දිනා ගත්තු ජයග‍්‍රහණ පාවාදීමට ඉඩ නොදී මෙතැනින් ඉදිරියට මේ රට අරගෙන යමු.
අනෙක් කාටත් බැරි වුණු වැඬේ, අමාරුම වැඬේ වුණු යුද්ධය ඉවර කරන්න මහින්ද රාජපක්‍ෂ ලවා පුළුවන් වුණා නම්, බැහැයි කියන අංග සම්පූර්ණ දෑහිතකාමී අලූත් ව්‍යවස්ථාවක් ගෙන්වා ගන්න පුළුවන් වෙන්නේ ඒ මහින්ද රාජපක්‍ෂගෙන් තමයි. වෙන කෙනෙක් නැහැ. තානාපති කාර්යාලයකින් කෝල් එකක් ආපුවාම සුළුදිය පහවන විපක්‍ෂයේ නායකයන් මේ රටේ ඉන්නේ.
ඔව් මේ රටට ඉදිරි ගමනක්  ඕනෙ. ඔව් මේ රටට තව දිනා ගන්න ජයග‍්‍රහණ  ඕනෙ. ඔව් මේ රටේ ආර්ථිකය මීට වඩා දෑහිතකාමී වෙන්න  ඕනෙ. ඔව් මේ රටට දෑහිතකාමී ව්‍යවස්ථාවක්  ඕනෙ. ඒවා කරගන්න  ඕනෙ අර හතුරු කල්ලියට පණ දීලා නොවෙයි. දිනාගත්තු දේ රැකගෙන, ජාතියට  ඕනෙ ජයග‍්‍රහණ මේ බලවේග තුළින්ම ගෙන එන්න පුළුවන්. ජාතික සංවිධාන එකමුතුව, මහ සගරුවන අපි හැමෝම ඒ වගකීම ගත යුතුයි. ඒ නිසා අපි ඒ යෝධ අරමුණ වටා පෙළ ගැසෙමු. ඒ අරමුණ අතට ගත්තු, හදට ගත්තු මහා බලඇණියක්ව මේ භූමියෙන් පිටව යමු. ජාතිය ඉල්ලන මහා වගකීමට උර දෙමු. කැටයම් කොට ඔප දමා රැගෙන එන සර්වපිත්තල සතුරු මතවාද තූ තූ කොට වනසා දමා, ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවෙමු. රට වල්මත් කරන්න වල්මත් විපක්‍ෂයට ඉඩ නොදෙමින් ඉදිරි ජනාධිපතිවරණයේදී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කර ගැනීමේ පරම පිවිතුරු පරමාර්ථයෙන්, රට තවත් දෑහිතකාමීව ඉදිරියට ගෙන යාමේ පරමාර්ථයෙන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ගේ ජයග‍්‍රහණය වෙනුවෙන් පෙළගැසෙමු..’’
මෙම විශේෂ ජාතික සමුළුවේ පිළිගැනීමේ කතාව හා අරමුණ පැහැදලි කිරීම ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු, ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් සිදු කළේය. පැපිලියාන සුනේත‍්‍රාදේවී පිරිවෙන් පරිවේණාධිපති, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පූජ්‍ය මැදගොඩ අභයතිස්ස, බෞද්ධ සංස්කෘතික පුනර්ජීවන කමිටුවේ සභාපති මණ්ඩල සාමාජික, අස්ගිරි විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික, පූජ්‍ය මැදගම ධම්මානන්ද, දේශපේ‍්‍රමී භික්‍ෂු පෙරමුණේ ලේකම්, කැළණිය ශ‍්‍රී පඤ්ඤානන්ද ධර්මායතනාධිපති, පූජ්‍ය බෙංගමුවේ නාලක සහ දෙහිවල, නැදිමාල සංස්කෘතික බෞද්ධ මධ්‍යස්ථානාධිපති, බොදු බල සේනා ජාලයේ සභාපති, පූජ්‍ය කිරම විමලජෝති යන නාහිමිවරුද සමුළුව ආමන්ත‍්‍රණය කළහ.
පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ හිටපු මහෝපාධ්‍යාය මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්ද්‍රසාර නාහිමි, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ජාතික විධායක සභික, මහාචාර්ය උපාලි ජයසේකර මැතිතුමා, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ජාතික විධායක සභික, වෛද්‍ය ඒ. අයි. කමලදාස මැතිතුමා, රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය නිමල් කරුණාසිරි මැතිතුමා, සමස්ත ලංකා ත‍්‍රීරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ වෘත්තීය සමිතියේ සභාපති, ලලිත් ධර්මසේකර මැතිතුමා, SPUR සංවිධානය,  ඕස්ෙටි‍්‍රලියාව, රංජිත් සොයිසා මැතිතුමා ඇතුළු විශාල ජනකායක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
– ජාතික සංවිධාන එකමුතුව
02 04 06 09 12 13

0 comments:

Proudly Powered by Blogger.