Wednesday, November 26, 2014

මනෝලි කමිටුවෙන් ක්‍රිකට් 'ලිංගික අල්ලස්‌' චෝදනා හෙලිවෙලා ?

by Api Nodanna Live  |  in Sri Lanka at  2:33 AM

ජාතික කාන්තා ක්‍රිකට්‌ කණ්‌ඩායමට ක්‍රීඩිකාවන් නම් කිරීමේදී ඔවුන්ගෙන් ලිංගික අල්ලස්‌ ලබා ගැනීමට තැත් කිරීම පිළිබඳව විමර්ශනය කළ නීතීඥ මනෝලි ජිනදාස කමිටු වාර්තාවෙන් වැදගත් කරුණු රැසක් හෙළිව ඇතැයි වාර්තා වේ.
කණ්‌ඩායමේ කළමනාකරුට මෙන්ම තේරීම් කමිටු සාමාජිකයන් දෙදෙනෙකුට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාව පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය වී තිබෙන බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
කණ්‌ඩායම් කළමනාකරු, පුහුණුකරු, තේරීම් කමිටු සාමාජිකයන් මෙන්ම කණ්‌ඩායමේ ක්‍රීඩිකාවන්ගෙන්ද කරුණු විමසමින් සකසන ලද එම පූර්ණ වාර්තාවද මුද්‍රා සහිතව අවසන් විධායක කමිටු රැස්‌වීමට ඉදිරිපත් කිරීමට නීතිඥවරිය පියවර පියවර ගෙන තිබිනි.
කෙසේවුවද  එහිදී තීරණය වී ඇත්තේ එම වාර්තාව විවෘත නොකර ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කර තිබෙන ත්‍රිපුද්ගල පරීක්‍ෂණ කමිටුව හමුවට එය ඉදිරිපත් කිරීමටය.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතා, නියෝජ්‍ය මහා භාරකාර තරංගනී දිසානායක යන අය එම ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජික සාමාජිකාවෝ වෙති.
ජිනදාස කමිටුව විසින් සිදුකරන ලද අදාළ කරුණු ගෙන හැර පෑමේදී කාන්තා ක්‍රිකට්‌ කණ්‌ඩායම් කළමනාකරු රොෂාන් ඉද්දමල්ගොඩ, කාන්තා තේරීම් කමිටු ප්‍රධානි ජයන්ත අමරසිංහ සහ එහි සාමාජික සුචිත්‍ර ඇලෙක්‌සැන්ඩර් යන තිදෙනාට එරෙහිව විවිධාකාර චෝදනා තිබෙන බව සඳහන් කරන ලද බව මේ පිළිබඳව කරුණු දක්‌වා සිටි විධායක කමිටු සාමාජිකයකු සඳහන් කළේය. සිය ඉදිරිපත් කිරීම අවසානයේ වැඩිදුරටත් කරුණු දක්‌වා ඇති ජිනදාස මෙනෙවිය, මේ පිළිබඳව ගැඹුරින් පරීක්‍ෂණයක්‌ පැවැත්වීම සඳහා වන කරුණු ගැබ්වී තිබෙන බවද සඳහන් කර ඇතැයි පැවසේ.
ජිනදාස මෙනෙවිය හමුවේ කරුණු දක්‌වා ඇති ක්‍රීඩිකාවන් අතරින්, කළමනාකාරීත්වයට අදාළ නිලධාරියකු නිරන්තරයෙන්ම බීමතින් හැසිරෙන බවත්, ක්‍රීඩිකාවන් තරගාවලි සඳහා සහභාගී වෙමින් තමන්ට හිමි කාමරයට වී නාන අවස්‌ථාවන්වලදී පවා බීමතින් හැසිරෙන එම පුද්ගලයා විටෙක යට ඇඳුම පමණක්‌ සහිතව ක්‍රීඩිකාවන්ගේ කාමරවලට බලහත්කාරයෙන් ඇතුලුවන බවත් ක්‍රීඩිකාවන් සඳහන් කර තිබේ.
ඊට අමතරව තේරීම්වලට සම්බන්ධ පුද්ගලයන් අතුරින් එක්‌ අයෙකු තමාට ලිංගික වශයෙන් අල්ලස්‌ ලබාදිය යුතු බවට ඉගි පාමින් හැසිරෙන බවත් තවත් අයෙකු අවු. 19-20 තරම් වන වයසේ ක්‍රීඩිකාවන්ට දුරකථනයෙන් කතා කොට එවැනි ආකාරයේ පහත් ක්‍රියාවන් සඳහා පොළඹවා ගැනීමට දැඩිලෙස කරදර කරන බවද සඳහන් කර තිබේ.
සඳහන් වන ආකාරයට මේ පිළිබඳව චෝදනා එල්ල වී තිබෙන එක්‌ පුද්ගලයකු විධායක කමිටුවද නියෝජනය කරනු ලබන අතර, ඔහු අදාළ විමර්ශනයේ කරුණු දැක්‌වීමට ප්‍රථම විධායක කමිටු රැස්‌වීමෙන් ඉවත්ව ගිය බවද සඳහන් වේ.
මූලාශ්‍රය - දිවයින

Related Posts

0 comments:

Proudly Powered by Blogger.