Monday, November 17, 2014

පිටකොටුවේ ඇඟමස් වීදිය

by Api Nodanna Live  |  in Sri Lanka at  4:01 AM

කොළඹ කළුවර ඉරා දමමින් අලුත් දිනකට හිරු උදාවෙමින් තිබිණි. සුපුරුදු පරිදි තවත් හෝරාවක දෙකක ඇවෑමෙන් පිටකොටුව ඇතුළු තදාසන්න ප්‍රදේශ ඇවිස්‌සුන කඩි ගුලක සිරිගනු ඇත. එහෙත් මේ කියන මොහොතෙහි පිටකොටුව ඕල්කට්‌ මාවත ඇතුළු අවට වීදිවල දක්‌නට වූයේ අලසව ගෙවෙන රැයක කෙළවරෙහි දක්‌නට ලැබෙන පාළුවට ගිය ස්‌වභාවයකි. කාඩ් බෝඩ් කැබැල්ලක්‌, ඉටිකොලයක්‌ මත ලැග සිටින යාචකයන් යෑයි සිතිය හැකි ගැහැනුන්, මිනිසුන් වීදියෙහි අගුපිල් මත වූ අතර රැයෙහි ආලෝකය පිණිස නිවී දැල්වුණු වීදි පහන් තව නොබෝ වේලාවකින් කොළඹ අහසට පැමිණෙන හිරුට ඉඩදී නිවී යැමට නියමිතව තිබිණි.
 
අතරින් පතර මතුවන මිනිස්‌ රූ අතරින් අප ඇවිද යමින් සිටියෙමු. මා සමග වූ මිනිසා අමුම අමු කොළඹයෙකු වූ අතර කොළඹ වේල්ලවීදියේ උපන් හේ මේ වන විට දිවි ගෙවන්නේ පිටකොටුව මල්වත්ත පාරට ආසන්නයේ වූ තරමක වත්පොහොසත්කමින් පිරි ඔහුටම අයත් නිවසකය.
 
"මහත්තයට මේක කොළඹ වුණාට මට මේක මගේ ගම. අපි යමු. මේ වෙලාව තමයි ඇවිදින්න හොඳම වෙලාව. උදේ අට නවය වෙනකොට බලාගන්න පුළුවන් මං කියන දේ ඇත්ත නැත්ත.
  ලොජ් හෙවත් "කාමර පහසුකම් ඇත" යනුවෙන් සඳහන් ස්‌ථාන දැක බලා ගැනීමත් එවැනි තැන් සහිත උඩුමහල් වල සිදුවන කැත සිරිකිත "ඇඟමස විකිණීමේ" ගනුදෙනුව පිළිබඳ සොයා බැලීමත් අපගේ ගමනෙහි අරමුණක්‌ විය.
 
අප ඕල්කට්‌ මාවත දිගේ බෝගහ හන්දිය දෙසට ඇවිද ගොස්‌ මගදී මුණගැසුණු පටු මං තීරුවකින් වමට හැරුණෙමු. කෙටි මඟක්‌ ඔස්‌සේ මැලිබන් වීදිය, කුමාර වීදිය පසුකොට ඵ් Main Street වෙත ළඟාවිය හැකි මාවතක්‌ වූ එය උස්‌ ගොඩනැඟිලි පාමුලින් වැටී ඇති ප්‍රසිද්ධ පටු මඟක්‌ විය.
 
උදැසන සීතලින් බේරීම පිණිස දුම් වැටියකින් පෙනහලු උණුසුම් කරන උඩුකය නිරාවරණය වූ කෙසඟ මිනිසෙකු කුණු කාණුවක්‌ අසල වූ ගල් බැම්මක්‌ මතට හේත්තු වී සිටි අතර බැලූ බැල්මට හේ "ඇදුම කැස්‌සෙන්" පීඩා විඳින්නෙකු යෑයි සිතිය හැක. පටු වීදියට හිරු එබෙන්නත් පළමුව විවරවූ පෙට්‌ටි කඩයක්‌ අසල තවත් පිරිමින් කීප දෙනෙක්‌ විය. ඔවුන්ද නාගරික වතු ආශ්‍රිත ජීවිත ගත කරන්නන් විය යුතුය. පෙට්‌ටි කඩය අසලට ඔවුන් රැස්‌ව සිටියේ ප්ලේන්ටියක්‌, කහට කෝප්පයක්‌ එසේත් නැත්නම් දුම් වැටියක්‌ වෙනුවෙන් විය හැක. මේ අතර පටු වීදියේ කෙළවරින් මතුවූ ගැහැනු කටහඬක්‌ විය. ශිෂ්ඨ මිනිසුන් භාවිතයෙන් ඈත් කළ වචන මාලාවක්‌ හෙවත් "කුණු හරුප" මිශ්‍ර භාෂාවකින් ඇය බැණ වදිමින් සිටියේ තවත් ගැහැනියකට වුවද පෙනෙන තෙක්‌ මානයේ වෙනත් ගැහැණු රූපයක්‌ද නොවීය.
 
"ඔහොම තමයි ඔය ඕකුන්ගේ හැටි. අර සිගරට්‌ එකක්‌ බිබී හිටියේ ඒකිගේ මිනිහ. සමහරවිට ඒක බොන්න සල්ලි දෙන්නත් ඇත්තේ ඒකි. මේ හරියේ විතරක්‌ එක රෑකට ඔහොම අම්මණ්‌ඩිල දහයක්‌ පහළොවක්‌ ඉන්නවා. රෑ දහය එකොළහ වෙනකොට පාරට බහින්න බෑ. උන්ට පොඩි කළුවරත් ඇති. මොකාව හරි දපනේ දාගෙන ගාන හොයා ගන්නවා. මේකෙ ඉපදිච්ච වැදගත් විදියට ජීවත්වෙන අයට මේක මහ හිරිහැරයක්‌ ලැජ්ජාවක්‌. මේව පොලිසිය දන්නව. දැන් ටික දවසකට ඉස්‌සර රෑ දහය වෙනකොට ඔය ස්‌ටේෂන් එක ඉස්‌සරහ කෙල්ලෝ දහයක පහළොවක රංචුවක්‌ හිටිය. පාරෙ යන හැම මිනිහටම බැල්ම දානව. බැරි වෙලාවත් අහුවුණොත් කම්මුතුයි. සුද්ධ කරල තමයි ආපහු එවන්නේ. ඉස්‌සර කතාවක්‌ තිබුණනේ ගෑනියෙකුට පාරේ තනියම බැහැල යන්න බෑ කියල. දැන් වෙන්නේ ඒකෙ අනික්‌ පැත්ත.
 
මා සමග වූ මිනිසාගේ කටහඬෙහි කලකිරීම කේන්තිය හරි හරියටම මුහුව තිබූ අතර මඟදී මුණගැසුණු ගැහැනිය පිළිබඳවත් ඇය කෝපාවිෂ්ට වීමට හේතුව වන්නට ඇති කරුණ පිළිබඳවත් ඔහු විසින් මා දැනුවත් කරන්නට විය.
 
මුල, මැද, අග ගලපා ගත්විට ඇය දොස්‌ නඟා ඇත්තේ පෙරදා රැයෙහි තම රාජධානිය ආක්‍රමණය කළ වෙනත් ගැහැනියක්‌ හේතුවෙන් තම "ටාගට්‌" අහිමිව යැමේ වේදනාවෙන්ය.
 
බාල ලෝහයෙන් කළ සුදු පැහැති මුදු මාල පැළඳ සිටි ඇය අඟ පසඟ පමණටත් වඩා ඉස්‌මතුවන ඇඳුමින් සැරසී සිටින්නේ කුමන හෝ පිරිමි ඇසකට ආකර්ෂණය වීමේ කැමැත්තෙනි. වීදි සරන ගැහැනියකගේ අනන්‍යතාව ඇය තුළින් පමණටත් වඩා ඉස්‌මතුව තිබීම ඇයගේ විශේෂත්වය විය.
 
ඇඟමස විකිණීම හෙවත් ගණිකා වෘත්තියේ යෙදෙමින් කීයක්‌ හරි ඉපයීම පිණිස කුමන හෝ පිරිමියෙක්‌ සමග හිරිකිතයෙන් තොරව සැතපෙන්නට සූදානම් එවැනි ගැහැනුන් පිටකොටුව තුළ ඕනෑ තරම් දැකගත හැකිය. නූගත්කමත්, දුප්පත්ව ඉපදීමත් විසින් ඔවුන් මහමඟට ඇදදමා ඇති ගාණය. මෙවැනි ගැහැනුන්ගේ ස්‌වාමිපුරුෂයන් හෙවත් දරුවන්ගේ තාත්තා එක්‌කෝ කුඩ්ඩෙක්‌ය. නැත්නම් බේබද්දෙක්‌ය. එවැනි පව්කාර මිනිසුන්ගේ පවට උරදී ඇති බොහෝ ගැහැනුන් ජීවත්වීම පිණිස පිටකොටුව වීදිමත හිඳ රැයෙහි මෙන්ම දහවලද "කීයක්‌ හරි" වෙනුවෙන් සූසැට මායම්වල යෙදෙන්නේ විවිධ ක්‍රම සහ විධි උපයෝගි කර ගනිමිනි.
 
ඉස්‌සරත් පිටකොටුවේ ගණිකා වෘත්තියේ යෙදුනු ගෑනු හිටියා. හැබැයි උන් එළිපිට හිටියේ නෑ. තැරැව්කරුවෙකුගේ මාර්ගයෙන් ඉස්‌සරත් සමහර පිරිමි තමන්ගේ වුවමනාවන් පිරිමහ ගත්තා. ඒ කාලේ නීති තදයි. පොලිසිය තදින් හිටිය.
 
උතුරේ ඇතිවූ යුද්ධයත් එක්‌ක හැම දේම වෙනස්‌ වෙන්න ගත්ත. ඒ වෙනස කොළඹ අපට විතරක්‌ නෙවෙයි රටටම දැනුණ. ඒ කාලේ මේ හරියේ "ලො-" වල හිටියේ උතුරු නැගෙනහිර මිනිස්‌සු දෙමටගොඩ, ආමර්වීදිය "ලො-" ගත්තත් එහෙමයි. ඒ අය ජීවිත ආරක්‍ෂාව පිණිස ඇවිත් නතර වුණේ කොළඹ. ඒ හින්ද ඒ කාලේ ලො-වලට ලොකු වටිනාකමක්‌ ලැබුණා. කොළඹ හැම ලො- එකක්‌ම අමුත්තන්ගෙන් පිරෙන්න ගත්ත. නිතරම වගේ හමුදාවෙන් පොලිසියෙන් ඒ තැන් පරීක්‍ෂා කළා. ඒ කාලේ නවාතැන් පහසුකම් කෑම ටික ඇරුණම "අමතර පහසුකම්" තිබුණේ නෑ. අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්‌. හතු පිපෙන්න වගේ මේ හැම තැනම "ලො-" පටන් ගත්ත. ඒව පිළිබඳ පසු විපරම් කිරීම් නොකරන තත්ත්වයට පත් වුණා. ඒත් එක්‌කම තමයි මේ වගේ ගැටලු නිර්මාණය වෙන්න ගත්තේ.
 
"අද පාර දිගේ ජෝඩුවකට යන්න බැරි තත්ත්වයක්‌ තියෙන්නේ. මොකද? මොකක්‌ හරි උවමනාවකට නෝනයි මහත්තයයි පිටකොටුවේ ඇවිදගෙන යනව කියල හිතන්න.
 
පාර අයිනේ ඉන්න ගෑනු කෙනෙක්‌ මහත්තයගෙන් අහනව "යමුද මහත්තය" කියල. ඒවා එයාගේ නෝනට ප්‍රවෘත්තියක්‌. නෝන අහනව "කවුද ඒ කියල" මහත්තයට දෙන්න උත්තරයක්‌ නෑ. ඇත්ත කිව්වත් පිළිගන්නෙ නැති නෝනලත් ඉන්නවනේ. එතන පවුල් ප්‍රශ්නයක්‌ ඇති වෙනව. මේව මේ හරියේ මේ රස්‌සාව කරන ගෑනු හිතලම කරන වැඩ.
 
61 වසරක්‌ පුරා කොළඹ ජීවිතය කර ගනිමින් දිවි ගෙවන මා සමග වූ අමුත්තා විවිධ හැල හැප්පීම් මැද කොළඹ වෙනස්‌වූ ආකාරයත් එයට ඔරොත්තු දුන්, නොදුන් මිනිසුන්ගේ ජීවිත මතින් එම වෙනස ගලා ගිය ආකාරයත් එකින් එක පහදන්නට වූ අතර එය තරමක්‌ දිග හෙළිදරව්වක්‌ විය.
 
(තවත් කොටසක් ලබන සතියේ)
 
රුවන් ජයවර්ධන
 
(උපුටා ගැනීම දිවයින පුවත්පතිනි)

0 comments:

Proudly Powered by Blogger.